මුහුණුපොතෙන් ප්‍රභාගේ රුව ප්‍රචාරය කළැයි රිමාන්ඩ් භාරයේ සිටි අයට ඇප

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ඡායාරූප හා වීඩියෝ පටයක් සිය මුහුණුපොත ඔස්සේ ප්‍රචාරය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන කැළුම් හර්ෂණ ජයසුමන නමැත්තා ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02දා) නියෝග කළේය.

සැකකරු එලෙස ඔහුගේ මුහුණුපොත හරහා සමාජගත කර ඇත්තේ ඔහු විසින් නිර්මාණය කළ ඒවා නොවන බවත් ඒවා වෙනත් පුද්ගලයකු විසින් සමාජ මාධ්‍යයට මුදාහැර තිබූ ඒවා බවත් පෙන්වා දෙමින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ප්‍රශ්නගත ඡායාරූප හා වීඩියෝ පට වෙනත් පුද්ගලයකු විසින් ප්‍රචාරය කළා නම් ඔහු හඳුනාගැනීමට විමර්ශන සිදුකරන ලෙසට එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා විට ඒ සඳහා ඇති ප්‍රතිපාදන කුමක්ද යන්න තම අධිකරණයට නිසියාකාරව දැනුම් දෙන ලෙසටත් වැඩිදුරටත් නියෝග කළේය.

තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ඡායාරූප හා වීඩියෝ පටයක් සිය මුහුණුපොත හරහා ප්‍රචාරය කරමින් ජාතීන් අතර අර්බුදයක්, විරසකයක් ඇති කිරීමට උත්සාහ කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම සැකකරුව ඊයේ (02දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 1 වැනිදා නියෝග කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published.