හන්තේ ජී ලෙස ලොව ප්‍රකට භාවනා උපදේශකයකු මෙන්ම සතිමත් බව පිළිබඳ විශ්වකීර්තිධර භික්ෂුවක් වන උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ඇමරිකන් විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ හිටපු මහාචාර්ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියෝ සිය අනූහත්වැනි ජන්ම දිනය මෙම දෙසැම්බර් 07 වැනි දින සමරති. නැෂනල් ජ්‍යෝග්‍රොපි (National Geographic Magazine) දින සඟරාව, ද විස්ඩම් (The Wisdom Magazine) සඟරාව, ලයන්ස් රෝ (Lion’s Roar Magazine) සඟරාව, ට්‍රයිසිකල් (Tricycle Magazine) සඟරාව සහ නිව්යෝක් ටයිම්ස් (New York Times) දින පුවත්පත සුවිශේෂී ඇගයීමකට භාජනය කළ ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියන් දැනට ලොව වැඩසිටින වයෝවෘද්ධ, ගුණෝවෘද්ධ, තපෝවෘද්ධ ජ්‍යේෂ්ඨතම ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමකි.
කැලණිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආදි ශිෂ්‍යයකු වන අප ගුරුදේව නාහිමිපාණන් වහන්සේ ආචාර්ය පරවාහැර වජිරඥාන නාහිමියන්ගේ ඇසුරින් විදේශ ධර්මදූත සේවයට එකතු වුණි. 1955 ජනවාරි 17 වැනි දින ඉන්දීය ධර්මදූත සේවයට සම්බන්ධ වූ ගුණරතන නාහිමියෝ වසර කිහිපයක් සාංචි විහාරයේ ලේකම් ධුරය හෙබවූහ. ඒ අතරතුර කැලණිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආදි ශිෂ්‍යවරයකු වන ආචාර්ය කිරින්දේ ධම්මානන්ද නාහිමිපාණන් සමග වර්ෂ 1958 සිට පුරා වසර දහයක් පමණ මැලේසියාවේ ධර්මදූත මෙහෙවරෙහි ද නිමග්න වූහ.
පුරා දස වසරක මැලේසියානු ධර්මදූත සේවයෙන් පසු එම ආණ්ඩුව අප නාහිමිපාණන් වහන්සේගේ වීසා බලපත්‍රය ඉදිරියට වලංගුභාවයට පත් නොකිරීම නිසා කැනඩාව බලා පිටත්වීමට කටයුතු සූදානම් කළ නමුත් ගරුතර මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිපාණන් වහන්සේගේ ආරාධනාවෙන් වර්ෂ 1968 දී ඇමරිකාවට වැඩම කළහ. මඩිහේ පඤ්ඤාසීහ මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සැලසුමකට අනුව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් වර්ෂ 1965 දී වොෂිංටන් බෞද්ධ විහාරය ආරම්භ කෙරිණි. පළමු සභාපති වූයේ බොපේ විනීත හිමියන්ය. නොබෝ දිනකින් රෝගී වූ උන්වහන්සේ ලංකාවට වැඩම කළ අතර ඉන්පසු දික්වෙල පියනන්ද හිමියන් සභාපතිත්වයට පත් විය. උන්වහන්සේගේ සහායට අපේ නායක හාමුදුරුවන් වහන්සේ වොෂිංටන් විහාරයට වැඩම කොට එහි ලේකම් ධුරයට පත්වූහ. හේනේපොල ගුණරතන නාහිමියන්ගේ අසීමිත කැපකිරීම් මත එතෙක් එපාර්ට්මන්ට් එකක පවත්වාගෙන ගිය පන්සල වර්තමානයේ අද දක්නට ඇති ගොඩනැඟිල්ල මිලට ගෙන එහි ක්‍රියාත්මක කළහ.
ගුරුදේව හේනේපොල ගුණරතනාභිධාන අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම ඇමරිකානු මහද්වීපයේම පළමු පන්සල වන වොෂිංටන් විහාරය හරහා ථෙරවාද සම්ප්‍රදාය ස්ථාපිත කරවීමට කටයුතු ඇරඹූහ. ඒ අනුව ඇමරිකන්, තායි, කාම්බෝජියන් ඇතුළු සාම්ප්‍රදායික හා නොවන බෞද්ධ රටවල පිරිස් සමග එකතුව වොෂිංටන් විහාරයේ සංවර්ධන කටයුතු ඇරඹීම ද කළහ. ශ්‍රී ලාංකිකයන් සිව් දෙනකුගෙන් සමන්විත වූ විහාරස්ථ දායක පිරිස සිය ගණනින් වර්ධනය කරන්නට වූහ. එමෙන්ම උන්වහන්සේ වොෂිංටන් ඇමරිකන් විශ්වවිද්‍යාලයට හා ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හැදෑරීමට ද අමතක නොකළහ.
අපේ ගුණරතන නාහිමියෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු බවට පත්වීමෙන් ඇමරිකානු ජනතාව අතරට ඉක්මනින් ගමන් කිරීමට හැකිවිය. එමෙන්ම ඇමරිකන් විශ්වවිද්‍යාලය යනු විශේෂයෙන්ම බොහෝ රාජ්‍ය නිලධාරීන් රටට දායාද කරන විද්‍යාස්ථානයක් වන අතර, ඇමරිකන් ජනාධිපතිවරයකු ද මෙම විශ්වවිද්‍යාලයෙන් බිහිවිය. එසේම උතුරු ඇමරිකාව පුරා සිටි විශේෂයෙන් සිංහල බෞද්ධ පිරිස වොෂිංටන් විහාරය වටා එකතුවන්නට විය. දික්වෙල පියනන්ද නාහිමියන් හා අපේ නාහිමිපාණන් දෙපළ වොෂිංටන්, නිව්යෝක්, ලොස් ඇන්ජලීස්, ටොරොන්ටෝ, කැල්ගරි හා චිකාගෝ යනාදී නගරයන් වෙත වැඩම කරමින් අන්‍යොන්‍ය සුහදතාවයන් ගොඩනඟාගන්නට වූහ.
1975 වසරේ තායි පන්සලක් වොෂිංටන් නගරය් ඇරඹූ අතර වියට්නාම්, කාම්බෝජියා, බුරුම පන්සල් ද ක්‍රමයෙන් ඇතිවන්නට විය. එමෙන්ම 1975 වසරේ වියට්නාම යුද්ධයෙන් සරණාගත පිරිස් විශාල වශයෙන් ඇමරිකාවට පැමිණෙන්නට පටන් ගත් අතර ඇමරිකානු ගුවන් හමුදාව විසින් අපේ නායක හාමුදුරුවන් කර්නල් තනතුරකට පත්කොට සරණාගතයන් වෙනුවෙන් උපදේශනයේ යෙදවූහ. මෙය ඓතිහාසික සිද්ධියකි. ඇමරිකන් ගුවන් හමුදාව බෞද්ධ භික්ෂුවකට එම තනතුර පිරිනැමූ පළමු හා අවසන් අවස්ථාව ද එය වේ.
ඇමරිකන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, ආචාර්ය උපාධියත් ලබාගත් උන්වහන්සේ දර්ශන අංශයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළ අතර ආගමික කටයුතු හේතුවෙන් පූර්ණ කාලීන සේවයේ යෙදීමට අවසර නොලැබිණි.
ගෞරවණීය අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ හා දික්වෙල පියනන්ද හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් ටොරෙන්ටෝ මහා විහාරය, ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරය වැනි ලාංකික විහාරස්ථාන මෙන්ම අනෙක් විහාරස්ථාන ද ඉදිවිය. මේ වනවිට ලාංකික විහාරස්ථාන 63ක් පමණ වන අතර බුරුම, තායි, කාම්බෝජ හා බංග්ලාදේශ විහාරස්ථාන ගණන දහසකට වැඩිය. වියට්නාම ථෙරවාද විහාරස්ථාන කිහිපයක් ද වේ.
හේනේපොල ගුණරතන නාහිමියන්ට විවිධ ප්‍රදේශවලින්, විශ්වවිද්‍යාලවලින්, රටවල්වලින් දේශන හා භාවනා වැඩසටහන් සඳහා ආරාධනා ගලා එන්නට විය. එබැවින් උන්වහන්සේ මේ වනවිට වැඩිම විශ්වවිද්‍යාල ප්‍රමාණයක දේශන පවත්වා ඇති සහ වැඩිම රටවල් ප්‍රමාණයක සංචාරය කර ඇති භික්ෂුව බව නොරහසකි. එමෙන්ම උන්වහන්සේ නිසා ජර්මනිය, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව හා අප්‍රිකාව යන රටවල ද විහාරස්ථාන ඉදිවිය. පළමුව සීමාමාලකයක් පිහිටුවා ඇමරිකන් ජාතිකයකු රට තුළදී පැවිදි උපසම්පදා කරවීමත් උන්වහන්සේ වෙතින් සිදුවූ හෙයින් උන්වහන්සේ ථෙරවාද සම්ප්‍රදාය ඇමරිකාවේ ස්ථාපිත කරවූ භික්ෂුව බවට පත්වෙති. එපමණක් නොව උන්වහන්සේ පළමු වස්වැසූ මෙන්ම කඨින චීවරයක් ලැබූ භික්ෂුව බවට ද පත්වෙති.
ක්‍රමානුකූල ග්‍රන්ථකරණයට ද යොමු වූ උන්වහන්සේ මේ වනවිට ග්‍රන්ථ 15ක් රචනා කර ඇත. මෙම සියලු ග්‍රන්ථ අවම වශයෙන් භාෂා හතරකටවත් පරිවර්තනය වී තිබීම සුවිශේෂී කාරණයකි. ඒ අතරින් Mindfulness in plain English ග්‍රන්ථය භාෂා තිස් දෙකකට පරිවර්තනය වී ඇති අතර නොකඩවා වසර 12ක් ඇමරිකාව තුළ වැඩියෙන්ම අලෙවි වූ කෘතිය ද වේ. නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් 2022 වසරේදී මෙම ග්‍රන්ථය ලොව අග්‍රගණ්‍යය භාවනා අත්පොතක් ලෙස හඳුනා ගැනිණි. උන්වහන්සේ වෙතින් සම්පාදනය වූ ලිපි ප්‍රමාණයන් අන්තර්ජාලයට මුදාහැර ඇති දේශන ප්‍රමාණයෙන් දහස් ගණනකි.
ස්වකීය දිවිමඟේ 97 විය සපිරුවත් අදටත් උන්වහන්සේ සතියට දේශන තුනක් අන්තර්ජාලයට එකතු කරති. එමෙන්ම ග්‍රන්ථ කරණයේ ද යෙදී සිටිති. මෙවර ඉංග්‍රීසියෙන් පොතක් නිකුත් නොකළත් සිංහල භාෂාවෙන් භාවනාවට අත්පොතක් මැයෙන් ග්‍රන්ථයක් සම්පාදනය වෙයි. ථෙරවාද, මහානායන මෙන්ම වජ්‍රයාන සම්ප්‍රදායන් තුනෙන්ම ගරු බුහුමනට ලක්වන අප නාහිමිපාණන් වහන්සේ ලෝකයේ සඟ රජු ලෙස සැලකෙයි. උන්වහන්සේ තව චිරාත්කාලයක් වැඩසිටීම ලෝකවාසීන්ට අස්වැසිල්ලකි. නාහිමියන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා.