සුජිත් මට ගැහුවා – අර්චුනා
මම ගැහුවෙ නෑ – සුජිත්
විපක්ෂයේ සිටින සුජිත් නමැති මන්ත්‍රීවරයා තමනට විපක්ෂ නායක කාර්යාලයේදී පහරදුන් බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා චෝදනා කළේය.
එම අවස්ථාවේ මුලසුනෙහි අසුන් ගෙන සිටිනු ලැබුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මියයි.
ඔහු මෙම චෝදනාව සිදු කිරීමට පෙර ඔහුට අදහස් දක්වමින් සමීපයෙන් පිටුපස ආසනයේ සිටින සිටියේ සජබ මන්ත්‍රී හේෂා විතානගේ මහතාය. ඔහුද සිය කතාව අවසානයේ රාමනාදන් මන්ත්‍රීවරයාගේ හැසිරීම ගැන දොස් කියමින් කතා කළේය.
හේෂා විතානගේ මහතා- මේ පාර්ලිමේන්තුව රඟපාන, ටික්ටොක් කරන මන්ත්‍රීවරුන් එවන්න එපා. යාපනයෙන් අපු කෙනෙක් ටික්ටොක් කරනවා. ඔබතුමිය කියන්න ඒ මන්ත්‍රීට එහෙට වෙලා ටික්ටොක් කරගන්න කියලා. විපක්ෂ නායකතුමාගේ පුටුවේ වැඩි වෙලා, ඇඟේ හයිය පෙන්නපු අයට මේ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රකින්න බැරි නම් ඒ ගැන පියවර ගන්න.
මෙහිදී චෝදනා කළ රාමනාදන් මනත්‍රීවරයා මෙසේ කීය.
මම පළවෙනි වතාවටයි මේ සභාවට පැමිණියේ. (විපක්ෂයෙන් බාධාකිරීම්) මම දැන් මගේ කතාවට කොපමණ වෙලාව තිබෙනවාද කියලා අහන්න විපක්ෂ නායක කාර්යාලයට ගියා. ඒ වෙලාවේ මේ සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා. අර පුටු සිද්ධිය පදනම් කරගෙන. මට ගැහුවා. මෙතන අපිට ගහනවා නම් අපි කොහොමද පාරවල්වල යන්නේ.
නලින් බණ්ඩාර මහතා- මේ මන්ත්‍රීතුමා විපක්ෂනායක කාර්යාලයට ඇවිත් විපක්ෂනායක ලේකම් ඉදිරියේ බොහොම අශෝභන ලෙස හැසිරුණා. ඔහු කුණුහරුප කිව්වා. ඒ ගැන තමයි මෙතුමා කියන්නේ. අපි ඒ ගැන කථානායකතුමාට පැමිණිල්ලක් කරනවා. මෙතුමාට උගත්කම තිබුණාට බුද්ධිමත්කම නෑ. ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් කරන්න මෙතුමාව වෙන අසුනක වාඩි කරවන්න.
සුජිත් සංජය මහතා- මෙතුමා කියනවා මම එතුමාට පහර දුන්නා කියලා. එහෙම කිසිම දෙයක් සිදු වෙලා නෑ. මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මෙතුමා මට තර්ජනය කළා.