සහල් නොදෙන මෝල් හිමියන්ට මින් පසු බැංකු ණය නෑ
වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 15ක පමණ රජයේ බැංකුවලින් ණය ලබා ගත් මහා පරිමාණ මෝල් හිමියන් සහල් තොග වෙළෙඳපොළට නිකුත් නොකර රැස්කර ගෙන සඟවාගෙන සිටින බව වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 දා) පැවසීය.
එලෙස ණය ගත් මෝල් හිමියන්ට වහාම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට දැනුම් දී ඇති බවත් එලෙස සහල් නොදෙන මෝල් හිමියන්ට ඉදිරියේදී වී මිලදී ගැනීමට බැංකු ණය ලබා නොදීමට කටයුතු කරන බවත් ඔහු කීය.
සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවේ සිටින මහා පරිමාණ සහල් මෝල් හිමියකු ඉස්ලාමික් බැංකුවෙන් බිලියන 3.5ක ණයක් ලබා ගෙන ඇති බවත් ඔහු ද සහල් තොග සඟවාගෙන සිටින බවත් ඇමැතිවරයා පැවසීය.
කෙසේ වෙතත් මෝල් හිමියන් කිහිපදෙනකු මේ වන විට සහල් තොග සතොස හරහා වෙළෙඳපොළට නිකුත් කරමින් සිටින බව ද හෙතෙම කියා සිටියේය.