පොලිස් කොමිසම වැරදි තැනකට ඇවිත්

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400ක් ද ඒවායේ ගෝඩ්ෆාදර්ලා ද විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන ආකාරය ද හඳුනා ගෙන ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෙරේදා (22දා) පැවැසීය. 2023, 2024, 2025 වසරවල අපරාධවල වැඩිවීමක් පවතින බවට තමන් පිළිගන්නා බවද සැකකරුවන් 190 කට රතු නිවේදන නිකුත් කිරීමට සහ හඳුනාගත් අපරාධකරුවන් 64ක් රටට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවද රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (22දා) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.

ඇතැම් සිද්ධීන්වලට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 11ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම පැවැසීම. ඒ අතර පොලිසියේ 02ක් යුද හමුදාවේ 01ක් සේවයෙන් ඉවත්ව ගිය හමුදා සාමාජිකයන් 07ක් සහ ගුවන් හමුදා නිලධාරියකු ද අයත් බවද ඔහු කීය. බස්නාහිර සහ දකුණ පළාත් සංවිධානාත්මක අපරාධ සිදුවන පළාත් ලෙස හඳුනා ගෙන ඇති බවත් එම පළාත්වල ආරක්‍ෂාව තහවුරු කිරීමට කටයුතු කර තිබෙන බවත් ඒ මහතා කීය. අවි ආයුධ ප්‍රමාණයක් සමාජයේ සංසරණය වන බවත් ඒ සඳහා තොරතුරු ලබාදීම ‘1997’ අංකය මහජනතාවට හඳුන්වා දී තිබෙන බවත් පැවැසූ පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මහජනතාවට ද යුතුකමක් තිබෙන බවද සංවිධානාත්මක සැකකරුවකු සාමාන්‍ය සැකකරුවෙක් ලෙස සැලකිය නොහැකි බවද පැවැසීය.

ටී 56 ගිනිඅවියක් සම්බන්ධයෙන් නිරවැරදි තොරතුරු ලබාදෙන අයකුට රුපියල් ලක්‍ෂ 10ක ත්‍යාග මුදලක් ලබාදෙන බවද ඒ මහතා කීය. නව රජය බලයට පත්වීමෙන් පසු ටී 56 ගිනි අවි 13ක්, පිස්තෝල 21ක්, රිවෝල්වර 15ක්, ්ණ 47 01ක්, බෙහෙත් කොටස තුවක්කු 805ක්, බෝර 12 තුවක්කු 75ක්, ගල්කටස් 10ක්, රිපීටර් 07ක් සමග වෙනත් අවි 04ක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි ඒ මහතා අවධාරණය කළේය.

පොලිසියේ සහ හමුදාවේ ඇතැම් පිරිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් එවැනි පුද්ගලයන් 170ක් හඳුනාගෙන ඇති බවත් පැවැසූ පොලිස්පතිවරයා මේ වනවිට එවැනි නිලධාරීන් 40ක් පොලිසියෙන් ඉවත් කර ඇති බවත් කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදියකු විසින් පොලිස් කොමිසම සහ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී වැඩබලන පොලිස්පතිවරයා මෙසේද කීය.

පොලිස් කොමිසම සමග හඳුනාගත් ප්‍රශ්න තියෙනවා. ඔවුන් ලංකාවේ නීතිය අනුව කටයුතු කරනවා. ලෝකයේ නීතිය අනුව පොලිස් කොමිසම තියෙන්නේ පොලිසියේ අභ්‍යන්තරය පාලනය කරන්න නොවේ. ඒක තියෙන්නේ මහජනතාවගේ ප්‍රශ්න විසඳන්න සහ පොලිස් නිලධාරීන්ගේ යම් විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමටයි. ඒ දෙකම පැත්තක තියලා වැරදි තැනකට පොලිස් කොමිසම ඇවිත් තියෙනවා.

එහිදී අපට පොලිසිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම පොලිස් කොමිසමට ලිඛිතව දැනුම්දී තියෙනවා. විශේෂයෙන් පත්කිරීම්, විනයානුකූලව කටයුතු කිරීම් සහ ස්ථාන මාරුකිරීම් කරන්න බැරි නම් පොලිස්පතිවරයා නාමිකව විතරක් පත්වෙනවා. ස්ථානාධිපති පත් කිරීම ගැන නීතිපතිගෙන් අර්ථකථනයක් ගත්තා. එහිදී කියැවුණේ පත්කිරීම කියන්නේ පත් කිරීමක් නොවෙයි ස්ථාන මාරුකිරීමක් කියලායි.

මේ නිසා අපි නිතරම ඉල්ලා සිටින්නේ පොලිස් ස්ථානාධිපති පත් කිරීම, ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීම පොලිස්පතිවරයාට පැවරිය යුතුයි කියලයි. පසුගිය කාලයේ නැවත සේවයට පත් කිරීම්වලත් ලොකු ගැටලුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කොමිසමට දැනුම් දීලා තියෙනවා.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා

සංවිධානාත්මක අපරාධ කල්ලිවල පැවැත්මට විවිධ මට්ටම්වල දේශපාලන සම්බන්ධකම් තිබුණා. පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පැහැරගෙන යෑම්, ඝාතනය කිරීම් සිදුවුණා. ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වූ පාස්කු ප්‍රහාරය සිදුවුණා. මේ සිද්ධි සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පැමිණි පසු විමර්ශන ආරම්භ කර තිබෙනවා. රට අඩපණ කිරීමට, රට අස්ථාවර කිරීමට කටයුතු කරන අය සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා කරලා තියෙනවා. ඒ අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.

මෙහිදී ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද අදහස් දැක්වීය.
හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා

Leave a Reply

Your email address will not be published.