සිංහල බෙහෙත් හලක් පාසල් සිසුන්ට ගංජා මිශ්‍ර මෝදක අලෙවි කරලා

හොරොව්පොතාන තානායම මංසන්ධියේ නීති විරෝධී ලෙස ලියාපදිංචි නොකළ සිංහල බෙහෙත් වෙළෙඳසැලක ඉතා සූක්‍ෂම ලෙස සඟවා පාසල් ළමුන් සඳහා අලෙවි කිරීමට සැලසුම් කර තිබූ රුපියල් ලක්ෂ 6ක් වටිනා ගංජා මිශ්‍ර මෝදක 2975ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හොරොව්පොතාන පොලිසිය සමත්ව ඇත.

පසුගිය දින කිහිපයේ මොරකෑව, හොරොව්පොතාන යන ප්‍රදේශවල පාසල් සිසුන් මෙන්ම සිසුවියන් මදනමෝදක භාවිතා කිරීම පිළිබඳව හොරොව්පොතාන පොලිසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එන්. අයි. දයානන්ද මහතා හා හොරොව්පොතාන ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ දේශීය වෛද්‍ය නිලධාරීන් පිරිසක්ද සමග පොලිස් කණ්ඩායමක් පසුගිය 15 වැනිදා හොරොව්පොතාන ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් අනතුරුව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය මෙම වෙළෙඳසැල තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මදනමෝදක සොයාගෙන ඇත.

මෙම එක් මදනමෝදක ගුලියක් රුපියල් 300ක මුදලකට පාසල් සිසුන්ට අලෙවිකර ඇති අතර එම අලෙවිකරන මත්ගුලි මෙම වෙළෙඳ සැළ තුළදීම එහි ඇසුරුම් ඉවත්කර පාසල් සිසුන්ට ලබාදෙන බවට අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය කළ ප්‍රශ්නකිරීම්වලදී හෙළිව ඇත. එමෙන්ම මෙම වෙළෙඳසැල රජයේ ලියාපදිංචි නොකළ දේශීය බෙහෙත් අලවිසැලක් බව හොරොව්පොතාන දේශීය වෛද්‍ය නිලධාරීහු පවසති.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ හොරොව්පොතාන පොලිසිය සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.