මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් දිනකදී වැය කරන විදේශීය මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අරමුණින් Deep Jungle මැයෙන් සීගිරිය කේන්ද්‍ර කොටගෙන ලබන අගෝස්තු 22, 23 සහ 24 සංචාරක ආකර්ෂණීය සංස්කෘතික සැණකෙළියක් පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය කරමින් පවතියි.
ශ්‍රී ලංකා රජය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාශියක සහයෝගය සමඟ පැවැත්වීමට නියමිත මෙම සැණකෙළියත් සමඟ සංචාරකයින් මෙරටදී වැයකරන ඩොලර් ප්‍රමාණය වැඩි කර ගැනීමට ඔවුන්ට නව ක්‍රියාකාරී අත්දැකීම් සහ අවස්ථා උදාකරදීම සිදුවන බව Deep Jungle එන්ටර්ටේට්මන්ට් ආයතනයේ ප්‍රධානී සුමුදු සමන් පියරත්න මහතා ප්‍රකාශ කළේය.
ලොව පුරා ප්‍රමිතිගත සංචාරක ආකර්ෂණීය සංස්කෘතික සැණකෙළි පවත්වමින් සංචාරකයන්ගේ වියදම් රටාවන් ඉහළ නැංවීමට කටයුතු කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එලෙස සිදුවන සිද්ධි දාමයන් හරහා අප රටට පැමිණෙන සංචාරකයන් වෙතින් හිමිවන ආදායම් වැඩිකර ගැනීම අරමුණින් දේශීය නිෂ්පාදකයන්ගේ අත්කම් භාණ්ඩ, විසිතුරු භාණ්ඩ සහ දේශීය කලාකරුවන්ගේ සාම්ප්‍රදායික ගැමි නැටුම්, බලි තොවිල්, යාගහෝම ආදිය ප්‍රවර්ධනය කිරීම මෙයින් සිදුකිරීමට බලාපොරොත්තු වේ. සීගිරිය සතු ඓතිහාසික සහ සංස්කෘතිකමය වැදගත්කම සැලකිල්ලට ගනිමින් UNESCO සංවිධානය සීගිරිය ලෝක උරුමයක් ලෙස නම්කොට ඇත. මෙලෙස ලෝක උරුමයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ සීගිරිය නැරඹීමට මෙරටට පැමිණෙන සෑම සංචාරකයන් සිය දෙනෙකුගෙන් අසූ දෙනෙකු ගමන් ගන්නා බව සංචාරක වාර්තා අනාවරණය කරගෙන ඇත.