සැප්තැම්බරයේ අපේක්ෂිත රේගු ආදායම 100% ඉක්මවා යයි

2025 සැප්තැම්බර් මස 30 වන දා වන විට අපේක්ෂිත ඉලක්කයෙන් 117%ක් සපුරාලීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගු පවසයි.

ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පසුගිය දා පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දී මේ බව අනාවරණය කළේය.

ඒ අනුව 2025 සැප්තැම්බර් 30 වන දිනට අපේක්ෂිත රේගු ආදායම රු බිලියන 1,485ක් බවත්, රු බිලියන 1,737ක ආදායමක් මේ වනවිට ලැබී ඇති බවත් රේගු නිලධාරීන් පැවසීය.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී සෑම මසකම රේගු ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් වැඩිම ආදායමක් හිමිවී ඇත්තේ, වාහන ආනයනය මඟින් 2025 ඔක්තෝබර් 14 වන විට රු බිලියන 587.11ක් බවද මෙහිදී අනාවරණය වුණි.

එම අගය ඒ වනවිට සමස්ත ආදායමෙන් 37%ක් බවද රේගු නිලධාරීන් පැවසීය.

ඒ අනුව ඔක්තෝබර්14 වන විට මෝටර් කාර් 55,447ක් ආනයනය කර ඇති අතර, එමඟින් රු බිලයන 474.26ක රේගු බදු ආදායමක් හිමිව තිබේ.

භාණ්ඩ ප්‍රවාහන රථ 7,331ක් ආනනය කර ඇති අතර, ඉන් රු බිලියන 48.67ක ආදායමක් ලැබී ඇත.

යතුරුපැදිය 142,524ක් හා ත්‍රීරෝද රථ 15,035ක් ආනයනය කර ඉන් ලැබූ ආදායම පිළිවෙලින් රු බිලයන 30.37ක් හා 15.10ක් වේ.

මගී ප්‍රවාහන බස් හා වෑන් රථ 1,679ක් ආනයනය කර ඇති අතර එමඟින් රු බිලියන 12.66ක ආදායමක් ලැබී ඇත.

මේ අතර රේගුව මඟින් රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඉදිරියේ දී එය හඳුන්වා දීමට නියමිත බවත් රේගු නිලධාරීහූ පැවසූහ.

කාරක සභාවේ සාමාජිකයින් වන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  නීතිඥ අජිත් පී පෙරේරා, නීතිඥ සුජීව සේනසිංහ, සුජිත් සංජය පෙරේරා, සුනිල් බියන්විල සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු ද ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිස ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published.