විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි මහතා දෙසැම්බර් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවේ 2024 වසරේ ජනවාරි මස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහා ආයතනයක් තෝරා ගැනීමට සියලු ප්‍රසම්පාදන කටයුතු සූදානම් කර තිබූ බවය.

එසේ තිබියදී මෙම සැකකාර හිටපු සභාපතිවරයා අදාල ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (පරිපාලන) අමතමින් එම කාර්යය සඳහා JSF Holding සමාගම තෝරා ගන්නා ලෙස බලපෑම් සිදුකර ඇති බවත් එම නිලධාරියා පැවසීය.

එම ප්‍රසම්පාදන කටයුතු ඉටුකිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ  ප්‍රසම්පාදන අංශයක් තිබියදී එම කටයුතු මානව සම්පත් අංශය හරහා සිදු කරන ලෙස මෙම සැකකරු කාර්යාංශයේ නිලධාරීන්ට බලපෑම් සිදු කර ඇති බවත් ඔහු පැවසුවේය. 

එමෙන්ම අදාළ ටෙන්ඩරය සඳහා ලංසු බාර ගැනීමේ කාලය අවසන් වීමෙන් පසුව මෙම JSF සමාගම සිය ලංසුව ඉදිරිපත් කර ඇති අතර මේ හේතුවෙන් එය භාර ගැනීම ලංසු බාරගැනීමේ කමිටුවේ නිලධාරින් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එසේ තිබියදී ප්‍රතික්‍ෂේප කරන ලද සමාගමේ අදාල ලංසුව යළි භාරගන්නා ලෙස මෙම සැකකරු විසින් අදාල කමිටුවේ නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද පැවසුවේය. 

Leave a Reply

Your email address will not be published.