පහළ කඩුගන්නාව ගැන NBRO වෙතින් නිර්දේශ ඇතුළත් වාර්තාවක්

පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදුවූ ගල් පෙරලීමේ ආපදා තත්ත්වය පරීක්ෂා කර ඒ ස්ථානයට ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිසාපතිවරයාට සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇතැයි ජාති‍ක ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසුවේ එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීමේ හැකියාවක් පවතින බවය.

කෙසේ නමුත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම කටයුතු සිදු කිරීමට බාධා එල්ල වී ඇතැයිද ඒ මහතා අද (25) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

මෙම ප්‍රදේශය භෞතික මැනුම් කටයුතු සිදු කිරීමට අපහසු ස්ථානයක් බවත් මේ හේතුවෙන් ලයිඩා තාක්ෂණය සහ ඩ්‍රෝනා තාක්ෂණය භාවිත කරමින් එම ප්‍රදේශයේ මැනුම් කටයුතු සිදුකළ බවත් ඒ අනුව එම ස්ථානය දීර්ඝ කාලීනව ස්ථාවර කිරීම සඳහා වූ සැලසුම් සකස් කිරීම සඳහා පියවර ඊයේ දිනයේදී ආරම්භ කළ බවත් එ් මහතා පැවසීය.

ඒ අනුව ඉදිරි කාලයේදී දීර්ඝ ස්ථාවර කිරීම් කටයුතු සැලසුම් කර එම ස්ථාවර කිරීම් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිල මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published.