විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (25) පෙරවරුවේ කැඳ වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබඳව සමාජයේ විවිධ මත සහ අදහස් පවතින බවද, ඒවා ඇතැම් විට එකිනෙකට පරස්පර ඒවා බවද, ඒ සියලු අදහස් එකතු කරගනිමින් නව වැඩපිළිවෙළක් කාටත් පිළිගත හැකි පරිදි සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේය. එම තොරතුරු සැලකිල්ලට ගනිමින්, ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශි කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
පුනරුත්ථාපන කටයුතු සඳහා පුහුණු මානව සම්පතක් ගොඩනැඟීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.
අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් ලබන මාර්තු මාසය වන විට සම්පාදනය කරන ලෙසද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. මීට ප්‍රථම ලබා දුන් උපදෙස් අනුව මේ වන විටත් එම කටයුතු ආරම්භ කර ඇති අතර, අද දිනයේ සාකච්ඡා කළ කරුණුද සැලකිල්ලට ගනිමින් කඩිනම්ව එම කටයුතු අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
විෂ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් විට එම ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමට, රස පරීක්ෂකවරයා කැඳවා එහි සාම්පලයක් ලබා ගැනීමට සහ ඉන් අනතුරුව, අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමට හැකි වන පරිදි මෙම නීති සකස් කරන ලෙසද ජනාධිපතිවරයා පැවසුවේය.

