‘ෂරියා’ හෙවත් ඉස්ලාමීය ආගමික නීතිය උල්ලංඝනය කළ බවට වරදකරුවන් වූ යුවළකට වේවැල් පහර 140ක් එල්ලකර දඬුවම් කිරීමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.
අදාළ යුවළ විවාහයෙන් තොරව ලිංගිකව හැසිරුනු බවටත්, මත්පැන් පානය කළ බවටත් වරදකරුවන් වී ඇත.
අචේ පළාතේ වේවැල් පහර සැසියකදී ඔවුන් දෙපළ මෙම දඬුවමට ලක්ව තිබේ.
මෙහිදී පහරකෑ ඇත්තේ 21 හැවිරිදි තරුණියක් වන අතර, ඇය වේවැල් පහරකෑම් විඳින අතරතුර දී ක්ලාන්ත වූ බවද සඳහන්.
කෙසේ වෙතත් ඇය හඬමින් සිටියදී පවා අදාළ දඬුවම ක්‍රියාත්මක කළ කාන්තා නිලධාරිනියන් අඛණ්ඩවම පහරදීම් සිදුකර ඇති බව වාර්තා වේ.
දඬුවම අවසන් වනවාත් සමග ඇය ඇදවැටී ඇති අතර, එහිදී ඇයව දඬුවම්කළ වේදිකාවෙන් ඉවතට ගෙන ගිලන් රථයට රැගෙන ගොස් ඇත.
ඔවුන් දෙදෙනාට අමතරව ෂරියා නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉස්ලාමීය පොලිස් බළකායේ නිලධාරියෙකු ඇතුළු තවත් සිව්දෙනෙකු ද වේවැල් පහරකෑමට ලක්ව තිබේ.
ආගමික වශයෙන් ගතානුගතිකව ජීවත්වන අචේ හි ඉස්ලාමීය නීතිය කඩකිරීම සඳහා වේවැල් පහර ලබාදීම පොදු දඬුවමකි.
නමුත් එය කුරිරු බව පවසන මානව හිමිකම් කණ්ඩායම් මෙම ක්‍රියාව දිගු කලක සිට විවේචනය කරමින් සිටී.
අචේහි ඉස්ලාමීය අපරාධ නීති සංග්‍රහය යටතේ විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම සඳහා වේවැල් පහර 100ක් සහ මත්පැන් පානය කිරීම සඳහා කස පහර 40ක් ලබාදිය හැකිය.
මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ ෂරියා නීතිය ක්‍රියාත්මක කරන එකම පළාත අචේ වන අතර, එහි බොහෝ වැරදි සඳහා ප්‍රසිද්ධියේ කස පහර දෙනු ලැබේ.


