ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතුරු කලාපයට මිසයිල ප්‍රහාර එල්ල කරන අවස්ථා ගණන වැඩිවෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බවය.

හයිෆා, නහරියා, අර්කෝ, ගැලීලි, අෆුලා, කර්මෙල් කඳුවැටිය, නාසරෙත්,තිබෙරියා ඇතුළු උතුරු  කලාපයේ ජීවත් වෙන පිරිස ලෙබනනය දෙසින් එල්ලවිය හැකි ප්‍රහාර මෙන්ම රට අභ්‍යන්තරයේ යම් කණ්ඩායම් විසින් සිදු කළ හැකි ප්‍රකෝපාකාරි සිද්ධීන් පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් මේ වනවිට ඉරානයෙන් එල්ල වන ප්‍රහාරවල අඩු වීමක් දක්නට ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

උතුරු ඊශ්‍රායල් කලාපයේ 9,000 කට අධික ශ්‍රී ලාංකිකයන් සේවය කරන බැවින් එරට ආරක්ෂක හමුදාවන්, රජයේ මාධ්‍ය හා PIBA ආයතනය මෙන්ම තානාපති කාර්යාලය විසින් ලබාදෙන උපදෙස් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිමින් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටී.

ඕනෑම ප්‍රහාරයකදී ඔබට ඊශ්‍රායල් ගිලන් රථ සේවා නොමිලේ ලැබෙන අතර ඔබ සිටින ස්ථානය (Location) සමග 101 අංකයට ඇමතීමෙන් සේවාව ලබාගත හැකි බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published.