කන්තලේ වාන් ඇල වැව්රක්ෂිතයේ සිටින වන අලි රංචුවක් හේතුවෙන් කන්තලේ වාන් ඇළ ඇතුළු අවට ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්ව සිටිතැයි එම ගම්මානවල වැසියන් සඳහන් කර සිටිති.
කන්තලේ වාන් ඇළ,ජයන්තිපුර ,සාලියපුර ,සිනිපුර වැනි ගම්මාන වලට මෙම අලි රංචුව නිසා තර්ජන එල්ල වී ඇති බවත් මේ නිසා තමන්ගේ ජන ජීවිතය අඩාල වී තිබෙන බවත් මෙහිදී ඔවුන් පෙන්වා දෙති.
අක්කර 25කින් පමණ යුත් වාන්ඇළ වැව්රක්ෂිතය අසල දහවල් කාලයේ ලැගුම් ගෙන සිටින මෙම රංචුව සවස්යාමේ වාන් ඇල වැවෙන් පීනා විත් මාර්ගය හරහා ගම්මානයට වදින බව මෙහිදී දැකගත හැකිය.
මීට වසර අටක පමණ සිට මෙම වන අලි උවදුර තම ගම්මානයට ඇතිව තිබෙන බවත් වැව් රක්ෂිතයේ සිටින වන අලි ඉවත්කර දෙන ලෙස හෝ රක්ෂිතය වටා අලි වැටක් නිර්මාණය කර වන අලි ගම් වදින එක නවතා දෙන්නයි කොතෙක් බලධාරීන් වෙත ඉල්ලීම් කළද එය බීරි අලින්ට වීණා වැයීමක් බඳු යැයි වාන්ඇල ගොවි සංවිධාන වල ගොවි නායකයන් පවසා සිටි.
දිනෙන් දින නිරන්තරයෙන්ම වන අලි තර්ජන උග්ර වී ඇති මෙම ගම්මානය වටා අලි වැටක් තිබුණද එය නිසි පරිදි නඩත්තු නොවන බවත් අලි වැට තරණය කොට වන අලි ගම් වදින බවත් මෙහිදී ගොවීහු පෙන්වා දෙති.
මේ වන විටත් තමන්ගේ ගොවිතැන් සහ දේපළ රැසක් මෙම වන අලි විනාශ කර දමා තිබෙන බව පෙන්වා දෙන ගම්වැසියෝ සෑම දිනකම රාත්රී කාලයේදී වන අලි පහර දෙතැයි බියෙන් පසුවන බවත් මෙම වාන් ඇල වැව් රක්ෂිතයේ සිටින වන අලි ඉවත් කර දෙන ලෙස ගොවීහු සහ ගම්වාසීන් නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති .


