හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක් මෙරට රෝහල් පද්ධතියට

මෙරට ප්‍රධාන රෝහල් රැසකට අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16ක් (Cath lab – Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු කරමින් සිටී.

මෙම අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර කොළඹ, මහනුවර සහ ගාල්ල යන ජාතික රෝහල් ත්‍රිත්වය, මඩකළපුව, රත්නපුර, බදුල්ල, ගාල්ල, යාපනය, කලුබෝවිල, අනුරාධපුර, කුරුණෑගල යන ශික්ෂණ රෝහල් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ද ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

මඩකළපුව, රත්නපුර, බදුල්ල යන ශික්ෂණ රෝහල්වල සහ ගාල්ල ජාතික රෝහලේ ස්ථාපිත කිරීමට නියමිත අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 4 සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් මිලියන 715ක්    වැය කිරීමට අපේක්ෂිතය.

ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 1,188ක මුදලක් වැයකර, කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර 03ක් ස්ථාපිත කිරීමටත්, මහනුවර ජාතික රෝහල මෙන්ම යාපනය, කලුබෝවිල යන ශික්ෂණ රෝහල්වල හෘද කැතිටකරණ යන්ත්‍රය බැගින් ස්ථාපිත කිරීමටත් නියමිතය.

එමෙන්ම ජයිකා (JICA) ආධාර යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද කැතීටකරණ යන්ත්‍ර දෙකක්ද, කුරුණෑගල, බදුල්ල යන ශික්ෂණ රෝහල්වල සහ මහනුවර ජාතික රෝහල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ යන්ත්‍රය බැගින් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ සදහා වැයවන මුදල රුපියල් මිලියන 1200ක්ය.

ඒ අනුව මෙම සියලුම හෘද කැතිටකරණ යන්ත්‍ර ස්ථාපිත කරන ව්‍යාපෘතිය සඳහා වැය කරන මුළු මුදල රුපියල් මිලියන 3103ක් බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මේ වනවිට හෘද කැතීටකරණ යන්ත්‍රය බැගින් කොළඹ, මහනුවර සහ ගාල්ල යන ජාතික රෝහල් ත්‍රිත්වයේ මෙන්ම යාපනය, කුරුණෑගල, රාගම, කලුතර, අනුරාධපුර සහ රිජ්වේ ආර්යා ළමා රෝහල යන ශික්ෂණ රෝහල්වල මෙන්ම පේරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහල සහ පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල්තුළ ස්ථාපිතකර ප්‍රතිකාර සේවා සපයනු ලැබේ.

ඒ අනුව නව යන්ත්‍ර 16 ස්ථාපිත කිරීමත් සමග එම යන්ත්‍ර ප්‍රමාණය 26ක් දක්වා ඉහළ යනු ඇත. 

රජයේ ප්‍රධාන රෝහල් පද්ධතිය තුළ මෙම හෘද කැතීටකරණ යන්ත්‍ර ස්ථාපනය කිරීමත් සමග හෘද රෝගීන්හට කාර්යක්ෂම සේවාවක් ලැබෙන අතර, පොරොත්තු ලේඛණද අවම කිරීමට හැකියාව ලැබේ.

එමෙන්ම වර්තමාන සහ අනාගත රෝග විනිශ්චය සහ හෘද සත්කාර ධාරිතාව පුළුල් කිරීම, හෘද රෝගවලින් සිදුවන මරණ හා රෝගාබාධ අවම කිරීම, හෘදයාබාධ රෝගීන් සඳහා පැය 24 පුරාම සේවා සහතික කිරීම, වාර්ෂික හෘද රෝගී ප්‍රතිකාර සේවා වත්මන් ධාරිතාවයෙන් දෙගුණයකටත් වඩා වැඩි කිරීම ආදි අරමුණු ද සඵල කරගත හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published.