‘දිට්වා’ නිසා හානියට පත් වූ තල්දෙන වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ ඇරඹේ

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ, මීගහකිවුල ප්‍රදේශයේ පිහිටි තල්දෙන මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ස්ථාන කිහිපයකින් බිඳී ගොස් විනාශයට පත්ව තිබූ මෙම වාරි ව්‍යාපෘතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සහ ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉතා කෙටි කලක් තුළ තාවකාලිකව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනුණි.

එම තාවකාලික ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, ගොවි ජනතාවගේ ඉදිරි වගා කටයුතු අඩාල නොවන සේ මහා ශ්‍රම මෙහෙයුමක් දියත් කරමින් 2026 ජනවාරි මාසයේ සිට නැවත දියවර නිකුත් කිරීමට ද කටයුතු කර තිබුණි.

ඒ අනුව තාවකාලික ප්‍රතිසංස්කරණයකට පමණක් සීමා නොවෙමින් මූලික අදියර සඳහා රුපියල් ලක්ෂ 1,227ක පිරිවැයක් වෙන් කරමින් මෙම මහා වාරි ව්‍යාපෘතිය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මෙලෙස ආරම්භ කර තිබේ.

අක්කර 350ක හා සෘජු ගොවි පවුල් 415ක් වගා කටයුතු කෙරෙන තල්දෙන මහා වාරි ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා දිගුකාලීන සහ ස්ථාවර සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published.