ගත වූ දින 04ක කාලය තුළ වටවල ප්‍රදේශයට මිලිමීටර් 661ක පමණ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව වත්මන් කාලගුණික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
ඊයේ දිනයේ පමණක් එම ප්‍රදේශයට මිලිමීටර් 204 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර එය ඊයේ (03) දිනයේ වාර්තා වූ ඉහළම වර්ෂාපතන අගය ද වේ.
මීට අමතරව අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පසුගිය දින 03 තුළ මිලිමීටර් 150 සිට මිලිමීටර් 500 දක්වා වන ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියේය.
ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ගෝලීය කාලගුණ විපර්යාසයන්හි බලපෑම හේතුවෙන් ඉතා කෙටි කාල පරාසයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීම මේ වන විට සුලබ තත්ත්වයක් බවට පත්ව ඇති බවය.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය මීට පෙර වාර්තා වූ ‘දිට්වා’ සුළි කුණාටු සමයේ පැවැති තත්ත්වයට සමාන කළ නොහැකි බවත්, දිට්වා බලපෑම පැවැති කාලසීමාව තුළ මීට වඩා සැලකිය යුතු ඉහළ වර්ෂාපතනයක් වාර්තා වූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
කඳුකර ප්‍රදේශවලට ලැබෙමින් පවතින මෙම අධික වර්ෂාපතනයත් සමඟ නායයාම් සහ පස්කඳු කඩාවැටීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින්, අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව කාලගුණික නිවේදන පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.


