රුපියල් 40,000ක අල්ලසක් ගත් කාර්මික නිලධාරියා අත්අඩංගුවට

රුපියල් 40,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු කාර්මික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවට අයත් පොදු ක්‍රීඩා පිටියක කාණු පද්ධතිය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සහ අම්පාර දිස්ත්‍රික් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව මඟින් අක්කරපත්තු නගරයේ වෙළඳ සැලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සිදුකර අවසන් කිරීමෙන් පසු, ඊට අදාළ රැඳවුම් මුදල් නිදහස් කරගැනීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම වෙනුවෙන් සැකකරු මෙලෙස අල්ලස් ඉල්ලා ඇත.

ඒ අනුව ඔහු අදාළ පුද්ගලයාගෙන් එක් කොන්ත්‍රාත්තුවක් සඳහා රුපියල් 20,000 බැගින් කොන්ත්‍රාත් දෙක සඳහා රුපියල් 40,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන තිබේ.

ඊට අමතරව සැකකරු විසින් එම පුද්ගලයාගෙන් ණය මුදලක් ලෙස රුපියල් 100,000ක මුදලක් ඉල්ලා ඒ වෙනුවෙන් රුපියල් 100,000ක් වටිනා චෙක් පතක් ද ලබාගෙන තිබේ.  

කෙසේවෙතත් ඊයේ (10) පස්වරු 1.55ට පමණ අදාළ පුද්ගලයාගේ ව්‍යාපාරික ස්ථානයේදී සිදුකළ වැටලීමකදී විමර්ශන නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

අදාළ සැකකරු අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published.