ඉන්දියාවට පලාගොස් සිටි වත්තල ඝාතනයේ සැකකරුවන් මෙරටට පිටුවහල් කරයි

වත්තල ප්‍රදේශයේ හෝටලයක පසුගිය ජූලි 23වැනිදා රාත්‍රියේ පැවති උපන්දින සාදයකට කඩාවැදී, වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කර ඉන්දියාවට පළාගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ ඝාතන සිද්ධියෙන් පසු ඔවුන් දෙදෙනා නීතිවිරෝධී ලෙස බෝට්ටුවක් මඟින් ඉන්දියාවට පලාගොස් ඇති බවය. 

එහිදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇත.

චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පිටුවහල් කර එවා තිබූ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විසින් කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මීට පෙර දැනුවත් කර තිබුණි.

වත්තල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 34 යන වයස්වල පසුවන්නන් වේ.

කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකරුවන්ගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published.