නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් මියයෑමේ පවා දැඩි අවදානමක් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය විද්‍යාත්මකව තහවුරු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කරයි.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී පරිසර අධිකාරිය ඉදිරිපත් කළ වාර්තා මඟින් මෙම තොරතුරු අනාවරණය වූ බව හෙතෙම පැවසීය.
ඉංග්‍රීසි පාලන සමයේදී කුඩා වැව් කිහිපයක ජලයෙන් පෝෂණය වන ලෙස නිර්මාණය කර ඇති ග්‍රෙගරි වැව, වර්තමානය වන විට ඉතාමත් දූෂිත තත්ත්වයක පවතින බව සභාපතිවරයා පෙන්වා දෙයි.
කාලයත් සමග එම කුඩා වැව් ගොඩවීම හේතුවෙන්, කඳුකර වගාවන් සඳහා භාවිත කරන කෘමිනාශක, පොහොර, නොයෙකුත් රසායනික ද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය ග්‍රෙගරි වැවට එකතු වී එහි ජල සංයුතිය භයානක ලෙස වෙනස් වී ඇති බව ඔහු පවසයි.
මධ්‍යම පරිසර අධිකාරියේ දත්තයන්ට අනුව සාමාන්‍ය ජලයේ තිබිය යුතු පොස්ෆේට් ප්‍රමාණය මිලිග්‍රෑම් 0.20ක් වුවද ග්‍රෙගරි වැවේ ජලයේ එය මිලිග්‍රෑම් 1.04ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 0.50ක් විය යුතු නයිට්‍රජන් ප්‍රමාණය මිලිග්‍රෑම් 3.70ක් දක්වාත්, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම මිලිග්‍රෑම් 9.72ක් දක්වාත් ඉහළ ගොස් ඇති අතර, මෙය මිනිස් ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල කරන බරපතළ විකෘතිතාවයකි.
මෙම අර්බුදකාරී තත්ත්වයට පිළියම් යෙදීම සඳහා පරිසර අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ කමිටුවක් හරහා ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරමින් සිටින බවද මංජුල සුරවීරආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


