වතුර බෝතල් වැඩිමිලට විකිණූ ආපනශාලාවකට ලක්ෂ 9කට අධික දඩයක්

බෝතල් කළ පානීය ජලය නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් යාපනයේ ආපනශාලාවකට  යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 950,000ක දඩ මුදලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී, ලීටර් 1 බෝතල් කළ පානීය ජල බෝතලයක් සඳහා නියම කර තිබූ රු. 120ක උපරිම සිල්ලර මිල ඉක්මවා එය රු. 200කට පාරිභෝගිකයෙකුට අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, පසුගිය25 දින යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස දඩ මුදලක් නියම කර ඇත.

මේ අතර, භාණ්ඩයක් මිලදීගැනීමේදී එහි මුද්‍රිත මිල සහ නියමිත උපරිම සිල්ලර මිල පරීක්ෂා කරන ලෙසත් ගෙවන මුදල සඳහා නිවැරදි බිල්පතක් ලබාගෙන එය සුරක්ෂිතව තබාගැනීමට ජනතාවද අවදානයෙන් කටයුතු කළයුතු බව පාරිභෝගික අධිකාරිය පවසයි.

නියමිත මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම හෝ වෙනත් පාරිභෝගික නීති උල්ලංඝනයක් පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම්දෙන ලෙස ඒම අධිකාරිය මහජනතාවට දන්වයි.

Leave a Reply

Your email address will not be published.