මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු. 100ට අලෙවි කළ හෝමාගම ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් ලක්ෂ පහක දඩයක් මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් හෝමාගම, ගලවිලවත්ත පිහිටි පුද්ගලික සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.
2025.12.11 දින සිදුකළ වැටලීමේදී, එවකට වලංගුව පැවති අංක 2430/15 දරන ගැසට් නිවේදනයේ විධාන අංක 93 ප්‍රකාරව මිලිලීටර් 500 දේශීයව බෝතල් කළ පානීය ජල බෝතලයක් සඳහා නියමිත උපරිම සිල්ලර මිල රු. 70ක්ව තිබියදී, එම ජල බෝතලයක් රු. 100කට අලෙවි කර ඇති බව අනාවරණය විය.
මෙම නඩුව පසුගිය (10)වන දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, චෝදනාවට වරද පිළිගත් විත්තිකාර සමාගමට අධිකරණය විසින් රු.500,000ක දඩයක් නියම කරන ලදී.
මෙම වැටලීම 2025 දෙසැම්බර් මාසයේ එවකට බලපැවැත්වූ උපරිම සිල්ලර මිල අනුව සිදු කරන ලද්දකි.
2026 ජූනි 10 දිනැති අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ විධාන අංක 96 ප්‍රකාරව, මේ වන විට දේශීයව බෝතල් කළ පානීය ජලය (PET) සඳහා බලපැවැත්වෙන උපරිම සිල්ලර මිල ගණන් ලෙස,
මිලිලීටර් 500 – 999 ml දක්වා, රු. 80.00
ලීටර් 1 – 1.499 L දක්වා, රු. 120.00
ලීටර් 1.5 – 1.999 L දක්වා, රු. 150.00
ලීටර් 2 – 2.499 L දක්වා, රු. 180.00
ලීටර් 5 – 6.999 L දක්වා, රු. 400.00
මේ අතර, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් හෝ වෙනත් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.


