අයවැය තෙවන වර කියවීමේ විවාදය අද සිට

අයවැය  තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (23) සිට ආරම්භ වේ.

මෙම විවාදය ලබන 8 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර එදින පස්වරු 5.00 ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.

මේ අතර 2023 අයවැය දෙවන වර කියවීම ඊයේ (22) දිනයේ වැඩි ඡන්ද 37 කින් සම්මත වුණි.

ඊට පක්ෂව ඡන්ද 121 ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 84 ක් පමණය.

කෙසේවෙතත් ඡන්දය ලබාදීම සඳහා සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පමණක් ඡන්දය දීමෙන් වැළකි සිටි අතර දෙමළ ජාතික සන්ධානය ඇතුළු මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභා ඝර්භයේ රැඳී නොසිටි බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ද එහි සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, ප්‍රියංකර ජයරත්න යන අය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

මේ අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

එහිදි අදහස් දැක්වු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, මෙය ජාතික ජයග්‍රහණයක් බවය.

අයවැය හරහා ද රට තවත් අර්බුදයට පත්කිරීමේ කාර්යය ආණ්ඩුව සිදුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. 

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් මෙම අයවැය මගින් නොලැබන බව විමල් වීරවංශ සහ නාලක ගොඩහේවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැවසුවේය.

ආණ්ඩුවට සහාය දක්වන මන්ත්‍රීවරුන්ගේ අඩුවක් මෙවර අයවැය මගින් පෙන්නුම් කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් රට වැටී ඇති අර්බුදයෙන් ගොඩගැනීම සඳහා යථාර්තවාදී අයවැයක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය අලි සබ්රි අමාත්‍යවරයා කියාසිටියේය.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා අද දිනයේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කැඳවීමට නියමිතව තිබේ.

එම සභාව අද පස්වරු 2.00 රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.