වනඅලි ප්‍රහාරයෙන් තරුණියක් මියයෑමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ රාත්‍රි කඳවුරු බැඳසිටි තරුණ යුවළකට එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්වීම සම්බනධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ, මෙම යුවළට අනාරක්ෂිත ලෙස කඳවුරු බැඳීමට සහාය පළකළ බවට පැවසෙන වයස අවුරුදු 24 සහ 32 හැවිරිදි වියේ පසුවන ප්‍රදේශවාසීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයට ඊයේ (11) පස්වරුවේ පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ තිබේ.

ඔවුන් කූඩාරම සකස් කර ඇත්තේ, පූනාගල ප්‍රදේශවාසී තරුණයින් දෙදෙනකුගේද සහාය ඇතිවය.

එලෙස රාත්‍රිය ගත කිරීම සඳහා කූඩාරමට ගිය ඔවුන්ට එහි වැඩිවේලාවක් රැඳීසිටීමට හැකිවී තිබුණේ නැත. 

ඒ අලිමංකඩ හරහා ගිය වනඅලියෙකු රාත්‍රී 10.30ට පමණ කූඩාරමට ප්‍රහාරයක් එල්ල කළ බැවිනි.

ඔවුන් දෙපළ මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්වී ඇති බව අද (12) අලුයම් කාලය වනතෙක් කිසිවකුත් දැන සිට නැත. 

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වන්නේ, අද උදෑසන 6ට පමණ සුවසැරිය ගිලන් රථ සේවයට ලැබුණු ඇමතුමකිනි.

කෙසේ වෙතත් ගිලන් රථයට කූඩාරම අසලට ළඟාවීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් දෙදෙනා පහළට ගෙනඑන්නේ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙනි. 

පොලීසිය පවසන්නේ, ඒ වන විටත් වන අලියාගේ ප්‍රහාරයට ලක්වූ තරුණිය මියගොස් සිට ඇති බවය. 

තුවාල ලද තරුණයා ප්‍රතිකාර සඳහා කොස්ලන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇත.

සිද්ධියෙන් මියගියේ මාතර කැකුණදුර පදිංචිව සිටි තරුෂි කවීෂා නම් 23 හැවිරිදි තරුණියකි.

ඥාතීන් පවසන්නේ, හෙද පුහුණුව ලබමින් සිටි ඇය පෞද්ගලික රෝහලක හෙද සේවිකාවක් ලෙස නුදුරේදී වැඩභාරගැනීමට සූදානම්ව සිටි බවය.

සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයා ධනුෂ්ක මධුෂාන් නම් 22 හැවිරිදි තරුණයෙකි.

කුරුණෑගල වාරියපොළ පදිංචි ඔහු වෘත්තියෙන් අලෙවි නිලධාරියෙකු ලෙස සේවය කර තිබේ.

සිදුකළ මූලික විමර්ශනවලට අනුව පොලීසිය පවසන්නේ මෙම යුවළ කඳවුරු බැඳ ඇත්තේ, කූඩාරම් අටවන භූමියෙන් පරිබාහිර ප්‍රදේශයක බවය.

එමෙන්ම මෙම යුවළ එම ප්‍රදේශයට පැමිණීම සඳහා කිසිදු මගපෙන්වන්නෙකුගේ සහාය ද ගෙන නැති බව අනාවරණ වී තිබේ. 

දියතලාව මූලික රෝහලේ තැම්පත් කර ඇති තරුණියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published.