ගාසා තීරය අත්පත් කරගැනීම වරදක් වේවි – බයිඩන්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ඇමෙරිකාවේ 60 මිනිටිස් වැඩසටහනට පෙනී සිටිමින් සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය මේ වනවිට ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් පහර දෙයි. ඒ, ගාසා තීරයේ උතුරු කොටසේ සිටින පලස්තීන වැසියන්ට වහා දකුණු කොටසට යන්නැයි පැය 24 ක් කල් දීමෙන් ද පසුවය.

හමාස් සටන්කාමීන් දේශසීහා හරහා ඊශ්‍රායලයට පහර දීම ආරම්භ කළේ පසුගිය 7 වැනිදාය. එම අවස්ථාවේ ඊශ්‍රායල වැසියන් 150 දෙනකු හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබුණි. ඔවුන් ගාසා තීරයේ උතුරු කොටසට රැගෙන ගොස් ඇතැයි පැවැසෙයි. ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන්නේ එම ප්‍රාණ ඇපයේ සිටින පිරිස සොයන අතරතුරේය.

ප්‍රහාර එල්ල කිරීමට පෙර ගාසා තීරයේ සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථානවලට යන්න ඉඩ ලබා දෙන්නැයි තමව් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලීමක් කළ බවත්, නෙදන්යාහු ඊට කැමැත්ත පළ කළ බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published.