හූති සටන්කාමින්ට සහාය දක්වමින් දැවැන්ත රැළියක්

යේමනයේ හූති සටන්කාමින්ට සහාය දක්වන දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් යේමනයේ දැවැන්ත රැළියක් පැවැත්වී තිබේ.

යේමනයේ සනා අගනුවර මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ඒ අමෙරිකාව, හූති සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙසට නම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි.

ඉරානයේ සහාය ඇති ව යේමනය පාදක කරගෙන සංවිධානය වී සිටින හූති සංවිධානයට සහාය දක්වන දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් රැළිය පැවැත්වී ඇත.

පසුගිය සතියේ දී අමෙරිකාව, හූති සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙසට නම් කළේය.

ඒ, හූති සටන්කාමීන් රතු මුහුදේ වාණිජ නෞකා ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර පිළිබඳ අවධාරණය කරමිනි.

හූති සහයෝගිකරුවන් මෙලෙස දැවැන්ත විරෝධතාවක් සංවිධාන කර තිබුණේ, අමෙරිකාවේ එම තීරණය විරෝධය පළ කරමිනි.

යේමන ධජය මෙන්ම පලස්තීන ධජය ද අතැති ව හූති වෙත සහාය දක්වන්නෝ විරෝධතාවට එක් ව සිටිය හ.

යේමනයේ වැඩි භූමි ප්‍රමාණයක් පවතින්නේ හූති සටන්කරුවන්ගේ පාලනය යටතේ ය.

ඊශ්‍රායල ප්‍රහාරවලට මැදි ව සිටි පලස්තීන වැසියන්ට සහාය පළ කරමින් රතු මුහුදේ ගමන් කරන, ඊශ්‍රායලයට සබඳතා ඇති වාණිජ නෞකා ඉලක්ක කරන බව හූති සටන්කාමිහු පවසති.

කෙසේ වුව ද හූති ප්‍රහාරවලට මුහුණ දුන් නෞකා අතරින් බහුතරයකට ඊශ්‍රායලය සමඟ සබඳතාවක් නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.