නවගමුවේ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ සැකකරුවෙකු අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා සිටියේ, අද (08) උදෑසන නුගේගොඩ පොලීසිය විසින් විශේෂ අපරාධ විමර්ශන අංශයෙන් එම වෙඩිතැබීම සිදුකළ පුද්ගලයාව දිඹුලාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.
කඩුවෙල කොරතොට ප්‍රදේශයේ නිවසකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පවසමින් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කෙරෙන යතුරුපැදි හිස් ආවරණ පැලඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම නිවසේ සිටි පුද්ගලයකු පැහැර ගෙන ගොස් ජනවාරි මස 10 වනදා රාත්‍රියේ හිසට වෙඩි තබා ඝාතනය කර තිබිණි.
පැහැරගෙන ගොස් තිබූ පුද්ගලයා මාලඹේ තුන්අදහේන, දෙල්ගහවත්ත, මහවෙල පාලමක් අසලදී බිම නිදිකරවා මිලිමීටර් නවය වර්ගයේ ගිනිඅවියකින් හිස ප්‍රදේශයට වෙඩි තබා තිබූ බවත් පසුව තුවාලකරු අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ, කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බුද්ධික ප්‍රසාද් නමැති එක්දරු පියෙකි.
මෙම පුද්ගලයාට 2011 වර්ෂයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ ගිනිඅවියක් ළඟතබා ගැනීමේ චෝදනා යටතේ මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බවද නවගමුව පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.


