77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ජාතික පුනරුදයට පෙළ ගැසෙමු – ජනපතිගේ නිදහස් දින පණිවුඩය
පුනරුදය යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දූෂිත දේශපාලන තන්ත්රයේ දහසක් අවලාද හා බාධාකිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැගූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත් ස්ථාවරය ඉදිරියට යමින් සිටින බවය.
77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර තිබේ.
“පැවැති දූෂිත දේශපාලන තන්ත්රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත්, ස්ථාවරව ඉදිරියට යමින් සිටී. අපගේ පොරොන්දුව පරිදිම අද වන විට අප ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවා යාමට මේ වන විට සමත්ව සිටිමු. ඒ අනුව දැන් ඇත්තේ ඉහත කී පදනම මත ක්‍රමානුකූලව සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරගැනීම පිළිබඳ වූ ඉතිහාසයේ වඩා නිර්මාණශීලීම කාර්යය නොසැලෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට රැගෙන යාමයි. ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත්, නිදහස පිළිබඳ වූ නූතන සුසමාදර්ශයක් ගොඩනැඟීමේ කාර්යය හා එක්වන ලෙසත්, පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 77 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේදී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කර සිටිමි.”
සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව යුක්තිගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.
සැබෑ නිදහස හනවුරු කිරීමේ දී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත් වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතු බව ද සිය නිදහස් දින පණිවුඩය තුළින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.