කොළඹ ප්රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා පොලීසිය භාරයේ රඳවාගෙන ප්රශ්නකිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (8) අවසර ලබා දුන්නේය.
කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ (7) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.
එහිදී කුරුඳුවත්ත පොලීසිය වෙනුවෙන් කරුණු දැක් වූ පොලිස් සැරයන් තිලකරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, මෙම සැකකරු සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව සඳහන් කළේය.
ඒ අනුව සැකකරු තවදුරටත් පැය 72ක කාලයක් රඳවාගෙන ප්රශ්න කිරීමට තීරණය කර ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්න.
ඒ අනුව සැකකරු පැය 72ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්රාත්වරිය, විමර්ශනවල ප්රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළේය.
මෙම සැකකරු කොළඹ බ්ලූමැන්ඩල් ප්රදේශයේ පදිංචිකරුවකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඔහු අදාළ දැරිය පැහැරගෙන ගොස් තර්ජනය කර කප්පමක් ලබා ගැනීමේ අරමුණින් මෙම ක්රියාව සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය මෙහිදී අධිකරණයට පැවසීය.