වායු ගුණාත්මකභාවය ගැන අනාවරණයක්

දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය මේ වන විට 150ත් 200ත් අතර අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි.

වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් පසුගිය දිනවලදී නිරීක්ෂණය වූ බවත් එය ගෙවුණු පැය 24 තුළ ද දැකගත හැකි වූ බවත් ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයක් විය හැකි අතර හුස්මගැනීමේ අපසුතාවයක් හෝ යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසය.

අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමග මේ තත්ත්වය ඇති වන බව ද ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙසේ වායු ගුණාත්මකභාවය පහළ යාමට මිනිස් ක්‍රියාකාරකම් ද බලපාන බව මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේය.

විශේෂයෙන් ගිනිතැබීම්, වාහනවලින් පිටවන දුමාරය ආදිය මේ සඳහා හේතුවන අතර ප්ලාස්ටික්, පොලිතීන් වැනි ද්‍රව්‍ය පිලිස්සීමෙන් වළකින ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මධ්‍යම පරිසර අධිකාරිය රටෙහි වායු තත්ත්ව දර්ශකය එසේත් නොමැති නම් වායු ගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් පසුවෙන බවය.

Leave a Reply

Your email address will not be published.