මෙවර නත්තල ශ්‍රී ලංකාවාසීන් සමරනු ලබන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැගෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සිය නත්තල් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම සහ පරිත්‍යාගය නත්තලේ සැබෑ අරුත වන අතර පීඩාවට පත්වූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම මෙන්ම සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වන බවය.
කිතුණු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්විම් වන අසල්වැසියා විපතට පත් වූ අවස්ථාවේදී අත්නොහැර සහෝදරත්වයෙන් වැළඳගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව යළි යළිත් පසක් කර ඇති බව ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
මේ අතර නත්තල් උදාව වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළේ, වඩා යහපත් හෙට දවසක් සඳහා එකමුතුව, ආදරයෙන්, සහකම්පනයෙන් වගකීම් සහිතව කටයුතු කිරීමට සියලුදෙනා අධිෂ්ඨාන කර ගත යුතු බවය.
රට යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා සියලු ජනකොටස් ඒකායන පරමාර්ථයකින් සහ සාමුහික වගකීමකින් දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු විය යුතු අවස්ථාවකට එළඹ ඇති බව ඇය සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.
සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාවෙන් කිසිදු අයුරකින් කඩවීමට ඉඩ නොතබා ඔවුන් අපේක්ෂා කරන “අලුත් රටක්” ගොඩනැගිමේ ඒකායන අරමුණ වෙනුවෙන් නිරතුරුව වෙහෙසෙන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

