කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව නඩු තුනක් ගොනු කර තිබෙන බවට දැනුම් දීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හැර සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර තිබෙන බවය. 

ඒ අනුව මෙම නඩුකරය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් නඩුකර බහා තබන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

ඒ අනුව අදාළ නඩු බහා තැබීමට අධිකරණය නියම කෙරිණි.

ජනමාධ්‍ය සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප් හා දීමනා ලබා ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට සඳහන් කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට විරුද්ධව අල්ලස් කොමිසම මෙම විමර්ශනය සිදු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.