ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරයට තමන් සම්බන්ධ බවට එල්ලවන චෝදනා ඉන්දීය රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ඒ බව නිවේදනය කර ඇත්තේ, එම ප්‍රහාරයට ඉන්දීය වරායක් යොදාගත් බවට අමෙරිකානු හමුදා ප්‍රධානියෙකු එරට මාධ්‍යක් වෙත ලබාදුන් ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිස් ඩෙනා’ නම් යුද නෞකාව ගාලු ධීවර වරායට ධීවර සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්වුණි.
එහිදී අදාළ නෞකාව මුහුදුබත් වූ අතර එහි සිටි පුද්ගලයන් 32 දෙනෙකු ජීව ග්‍රහයෙන් මුදාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලැබීය.
ඒ අනුව අදාළ පිරිස ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
අනතුර සිදුවූ ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අදාළ නෞකාවේ සිටි පුද්ගලයන් 84 දෙනෙකුගේ මෘතශරීර ගොඩබිමට රැගෙන එනු ලැබීය.
මේ අතර, අමෙරිකාව ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ, තමන් විසින් එල්ලකළ සබ්මැරීන ප්‍රහාරයකින් අදාළ නෞකාව මුහුදුබත් වූ බවය.


