ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය සිදු කිරීම සඳහා අද (16) සෙනසුරාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස් වන බවත්, එම රැස්වීමට සහභාගි වන ලෙසත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්රීවරුන් වෙත දන්වා ඇත.
ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් පවතින බව අද (16) නිවේදනය කරන අතර පෙර තීරණය කළ පරිදි ඊට අදාළ නාම යෝජනා කැදවීම ලබන 19 වැනිදා සිදුකිරීමටත් ඊයේ (15) පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති බවත් මහලේකම්වරයා පවසයි.
1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වගන්තිය ප්රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතුය.
මේ අනුව එම පනතේ 5 වැනි වගන්තිය ප්රකාරව ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව මහලේකම්වරයා අද (16) නිවේදනය කිරීමට නියමිතව ඇත.
එමෙන්ම ඊයේ (15) රැස්වූ පක්ෂ නායක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දන්වා සිටියේ මීට පෙර පක්ෂ නායකයන් තීරණය කළ පරිදි ලබන 20 වැනිදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරා ගැනීම සිදු කරන බවයි.
ඒ අනුව ලබන 19 වැනි අගහරුවාදා නාමයෝජනා කැදවීමත් ඉන් අනතුරුව ලබන 20 වැනි බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව මන්ත්රීවරයෙකු ජනාධිපතිධුරය සදහා තෝරා ගැනීම සිදු වන බවත් මෙහිදී කථානායකවරයා පැවසීය.
ප්රජාතන්ත්රවාදී රාමුව තුළ මෙම ක්රියාවලිය නෛතික ප්රතිපාදන අනුව කිසිදු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කථානායකවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.