AI නිසා මිනිස් බුද්ධිය පිරිහීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රශ්න සහ සංකීර්ණ ගැටලුවලට සැනෙකින් පිළිතුරු ලබා දෙන AI කෘතිම බුද්ධි මෙවලම් නිසා මිනිසාගේ බුද්ධි මට්ටම අඩු විය හැකි බව බ්‍රිතාන්‍යයේ රෝයල් ඔබ්සර්වේටරි (Royal Observatory) ආයතනය අනතුරු අඟවා ඇති බව විදෙස් වාර්තා හි සඳහන් වෙයි.

මෙම ආයතනයේ ප්‍රධානී පැඩී රොජර්ස් (Paddy Rodgers) පවසා ඇත්තේ, මිනිසුන් ඕනෑම දේකට AI මතම පමණක් යැපීමට පුරුදු වුවහොත්, ප්‍රශ්න ඇසීමට සහ කරුණු විමසා බැලීමට ඇති හැකියාව නැති වී යා හැකි බවයි.

පැරණි තාරකා විද්‍යාඥයන් පරිගණක නොමැති කාලයේ තමන්ට අනවශ්‍ය යැයි සිතුණු දේවල් පවා නිරීක්ෂණය කර සටහන් කර තැබූ බවත්, එම දත්ත වසර 150කට පසුවත් විද්‍යාඥයන්ට ප්‍රයෝජනවත් වූ බවත් ඔහු පවසයි. 

නමුත් AI මෙවලම් මගින් සිදුවන්නේ කෙටි සෘජු පිළිතුරු දීම පමණක් නිසා, මිනිසුන්ට අලුත් දේ සෙවීමට ඇති කුතුහලය නැති වී යයි.

තවද, AI දෙන පිළිතුරු නිවැරදිදැයි නැවත පරීක්ෂා කිරීමද අපහසුය.

AIවල ඇති වාසිදායක පැත්ත

කෙසේ වෙතත්, AI මගින් විද්‍යාත්මක සොයාගැනීම් රැසක්ද සිදු කර ඇත.

2024 නොබෙල් ත්‍යාගය දිනූ ඩෙමිස් හසාබිස් (Demis Hassabis) නමැති විද්‍යාඥයා AlphaFold2 නමැති AI මෙවලම භාවිතයෙන් ප්‍රෝටීනවල ව්‍යුහය සොයාගැනීම වෙනුවෙන් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගෙන තිබේ.

මේ අතර,  LinkedInහි සම-නිර්මාතෘ රීඩ් හොෆ්මන් (Reid Hoffman) පවසා ඇත්තේ තමන්ගේ අදහස්වල ඇති වැරදි සෙවීමට සහ ඒවා තවදුරටත් දියුණු කරගැනීමට AI සහායකයෙකු ලෙස භාවිත කළ හැකි බවයි.

තවද,  විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පවසන්නේ සිසුන් තමන්ගේ සිතීමේ ශක්තිය AIවලට සම්පූර්ණයෙන්ම යටත් නොකර වගකීමෙන් යුතුව භාවිත කරන්නේ නම් ඉගෙනීමේ කටයුතු පහසු කරගත හැකි බවයි.

ලෝකයේ වර්තමානය තුළ Google, TikTok සහ x වැනි සමාජ මාධ්‍ය හරහා සැනෙකින් පිළිතුරු දෙන AI තාක්ෂණයන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published.