ආගමන පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආගමන පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමව තිබේ.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, කාරක සභා අවස්ථාවේ සංශෝධනවලට යටත්ව මෙම අනුමැතිය ලබා දීම සිදුව ඇත.    

එම කාරක සභාව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ආගමන පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කෙරිණි.

කාරක සභා සාමාජික මන්ත්‍රීවරු, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීහු, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමෙන්තුවේ නිලධාරීහු ද නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ ද  මෙම රැස්වීමට සහභාගී වූහ.

(351 වන අධිකාරිය වූ) ආගාමික හා විගාමික පනත සහ 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර සහ පිටවීමේ අවසර පනත යන පනත් දෙකම ඉවත් කරමින්, වර්තමාන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි මෙම නව පනත හඳුන්වා දෙනු ලබන බවත් නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.

මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු සහ සංශෝධන සියල්ල කෙටුම්පතට ඇතුළත් කර ඇති බවත්, විශේෂයෙන්ම, ජෛවමිතික තොරතුරු ලබා ගැනීමේදී සහ ගබඩා කිරීමේදී පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූල වන පරිදි නෛතික සුරක්ෂිතතාව තහවුරු කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.

එසේම පාලක, නියෝජ්‍ය පාලක සහ බලයලත් නිලධාරී වැනි පැරණි තනතුරු වෙනුවට පාලක ජනරාල්, අතිරේක පාලක ජනරාල් සහ ආගමන නිලධාරීන් ලෙස තනතුරු නාමයන් යාවත්කාලීන කර ඇති බව මෙහිදී නිලධාරීහු සඳහන් කළහ.

එමෙන්ම, නීති විරෝධී ලෙස මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදන මගින් බලය පවරනු ලබන ත්‍රිවිධ හමුදා සහ වෙරළ ආරක්ෂක නිලධාරීන්ට ද සීමිත බලතල ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන සලසා ඇත.

තවද, ශ්‍රී ලංකාවෙන් නීත්‍යානුකූලව පිටවී වෙනත් රටකදී ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් සිදු කරන මනුෂ්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට නීතිය යටතේ නඩු පැවරීමටත්, එවැනි සංවිධානාත්මක නීති විරෝධී ක්‍රියාවලට අදාළ නඩු මහාධිකරණය හමුවේ විභාග කිරීමටත් නව පනතින් බලතල පැවරේ.

එසේම විදේශ ගමන් බලපත්‍රවල මුද්‍රා තැබීමකින් තොරව භාවිත කළ හැකි ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික ද්වාර ක්‍රියාත්මක කිරීම ඇතුළු තාක්ෂණික අවශ්‍යතා සදහා නෛතික රාමුව මෙමගින් සපයා ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.

ශ්‍රී ලාංකිකයන් සමග විවාහ වන විදේශිකයන් සඳහා මෙරට වීසා ලබා දීමේදී ඇති නෛතික තත්ත්වයන් සහ ඊට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *