ඩොමිනිකන් ජනරජයේ හෝටලයක දැවැන්ත ගින්නක්

කැරිබියානු කලාපයේ සුප්‍රසිද්ධ සංචාරක රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ පිහිටි බයාහිබේ වෙරළ තීරයේ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. 

මෙම ගිනිගැනීමෙන් 46 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි රැඳී සිටි සංචාරකයින් 1,700කට ආසන්න පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ලොව පුරා හෝටල් 8,400කට අධික සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන ප්‍රමුඛ පෙළේ වින්ඩ්හැම් (Wyndham) හෝටල් ජාලයට අයත් හෝටලයක මෙම ගින්න හටගෙන තිබේ. 

මෙම හෝටලය ආසන්නයේම පිහිටා ඇති ‘වීවා වින්ඩ්හැම් ඩොමිනිකස් මාලිගයට’ ගින්නෙන් කිසිදු හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළ දර්ශනවලට අනුව, ගින්න හේතුවෙන් කැරිබියානු වෙරළ තීරයට ඉහළින් අඳුරු දුමාර වලාකුළු නැඟී ගිය අතර, නිවාඩු නිකේතනයේ පිදුරු සහ තල්කොළවලින් සෙවිලි කළ වහලවල් සම්පූර්ණයෙන්ම ගිනිදැල්වලින් වැසී ගොස් තිබුණි.

ඩොමිනිකන් ජනරජයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, පොල් අතුවලින් සාදන ලද වහල කොටස්වල තිබූ දැවෙන සුළු ස්වභාවය සහ එම අවස්ථාවේ පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් හෝටල් සංකීර්ණය පුරා පැතිර ගිය බවයි.

ප්‍රහාරක කණ්ඩායම්වල දැඩි උත්සාහයකින් පසුව මේ වන විට ගින්න පාලනය කිරීමට සමත්ව ඇති අතර, ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

වර්ග කිලෝමීටර් 48,671ක භූමි ප්‍රමාණයකින් යුත් ඩොමිනිකන් ජනරජය, කැරිබියානු කලාපයේ ඉහළම ආකර්ෂණයක් දිනාගත් සංචාරක ගමනාන්තය වේ. 

පැහැදිලි නිල්වන් ජලය සහ සුදු වැලි සහිත වෙරළ තීරයන් නිසා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන මෙම රාජ්‍යයට, මෙම වසරේ මුල් මාස පහ තුළ පමණක් මිලියන 5.6ක සංචාරකයින් පිරිසක් පැමිණ තිබීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published.