ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය අදයි

ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය අද (21) යෙදී තිබේ.

සෑම වසරකම ජූනි මස තුන්වන ඉරිදා දින ලොව පුරාම Father’s Day සමරනු ලබයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොතිබුණද, ලෝකයේ බොහෝ රටවල් මෙම දිනය පියවරුන්ට ගෞරව දක්වමින් විශේෂ උත්සව ලෙස සමරති.

පියවරුන්ගේ දිනයේ ආරම්භය 1910 වසර දක්වා දිව යයි. එය මුලින්ම අමෙරිකාවේදී ආරම්භ වූ අතර, පියවරුන්ගේ ගෞරවය පිළිබඳ අදහස ජනප්‍රිය කළේ වොෂිංටන් ප්‍රාන්තයේ Sonora Smart Dodd විසින් බවත් සඳහන් වේ. 

ඇයගේ පියා යුධ සේවකයෙකු වූ අතර, මව නොසිටි පවුලක දරුවන් හයදෙනෙකු තනිවම රැකබලා ගත් නිහඬ වීරයෙකුද විය.

20 වන සියවසේ මුල් භාගයේදී වොෂිංටන් සහ බටහිර වර්ජිනියාවේදී පියවරුන්ට ගෞරව දැක්වීමේ විශේෂ උත්සව පැවැත්වූ අතර, 1910 දී ප්‍රථම නිල සැමරුම ඇමරිකාවේ Spokane නගරයේදී සිදු වූ බවද සඳහන් වේ. 

පසුව, 1972 දී එවකට අමෙරිකානු ජනාධිපති Richard Nixon විසින් එය ජාතික නිවාඩු දිනයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

පියවරුන් යනු බොහෝවිට නිහඬවම ආදරය කරන, දහඩියෙන් හා කඳුළින් පවුල රැකගන්නා ශක්තිමත් අයෙකි. ඔවුන්ගේ කැපවීම බොහෝවිට වචනවලින් නොව ක්‍රියාවෙන්ම ප්‍රකාශ වේ.

අම්මා සඳක් සේ නිවී සෙවණ දෙන ලෝකයක, පියා හිරු ලෙස උණුසුම සහ ශක්තිය දෙනු ලබන්නේ පවුලේ ජීවිතයට ආලෝකය එක් කරමිනි. ඔහුගේ නිහඬ සටන, ආදරය හා කැපවීම අද දිනයේදී විශේෂයෙන් සිහිපත් කර ගෞරවයෙන් සැමරේ.

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී…

Leave a Reply

Your email address will not be published.