එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් (ODI) ඉතිහාසයේ මෙතෙක් පැවති තරග සංඛ්‍යාවේ 5000 වැනි තරගයේ සන්ධිස්ථානය ඊයේ (7) සම්පූර්ණ කළේය.
ස්කොට්ලන්තයේ සත්කාරකත්වයෙන් ස්කොට්ලන්තය සහ කැනඩාව අතර පැවැති මෙම ඓතිහාසික තරගයෙන් ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය ලබාදුන් ලකුණු 282ක ඉලක්කය හඹාගිය කැනඩා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 273ක් පමණි.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මංගල එක්දින තරගය 1971 වසරේ ජනවාරි 05 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වුණු අතර, එම තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
එම මංගල තරගයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට මුහුණදී ඇති කණ්ඩායම වන්නේ ඉන්දියාවයි.
1974 සිට 2026 දක්වා කාලය තුළ ඔවුන් එක්දින තරග 1,081කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 575ක් ජයගෙන තරග 452ක් පරාජය වී තිබේ.
මීට අමතරව ඔස්ට්‍රේලියාව (තරග 1,025) සහ පාකිස්තානය (තරග 1,002) ද තරග දහසේ කඩඉම පසුකර ඇත.
1975 වසරේ සිට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරග 945කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 436ක් ජයග්‍රහණය කර තරග 481ක් පරාජයට පත්ව ඇත.


