ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (නාරා) පවසයි.
එහි සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සාගර පද්ධතීන්ට බලපා ඇති පොදු අවදානමක් බවයි.
මෙම තත්ත්වය හදිසියේ ඇති වූවක් නොවන අතර, 2014 වසරේ සිටම ලංකාව ආශ්‍රිත මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්නේ පහළයෑමක් වාර්තා වන බව හෙතෙම පවසයි.
මත්ස්‍ය අස්වැන්න අඩුවීම සඳහා නිශ්චිත හේතුවක් බලපා නොමැති අතර, ජෛව පද්ධතියේ සිදුවන වෙනස්වීම් ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
කෙසේ වෙතත්, මේ සඳහා එල් නිනෝ (El Niño) තත්ත්වයේ බලපෑමක් පවතීද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර, එමඟින් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් එල්ල වී ඇති බවට තහවුරු වී නොමැත.
මෙම අර්බුදය දීර්ඝ කාලීනව වර්ධනය වුවහොත් ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් වෙනත් රැකියා අවස්ථාවන් වෙත යොමු කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
ඊට පිළියමක් ලෙස මත්ස්‍යයින් වගාකිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති නමුත්, දැනට පවතින ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා චෝදනා කරන්නේ, ධීවර කටයුතුවලදී තහනම් දැල් සහ විනාශකාරී ආම්පන්න භාවිතයට එරෙහිව පනවා ඇති නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මෙම මත්ස්‍ය සම්පත ක්ෂය වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවය.


