අබුඩාබි නුවර සිට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට පොලීසියට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ගිනිඅවි සන්තකයේ තබාගැනීම සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට පොලීසියට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර සිට පිටුවහල් කිරීමෙන් පසු අද (03) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අශෝකපුර, දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ බන්ධුල දිසානායක සහ කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සියඹලාදූව පතිරණලාගේ හර්ෂ කුමාර නැමැති අයවලුන්ය.
ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සහ ඒවා ඉලක්ක වෙත පතිත වී පුපුරා යන ආකාරය දැක්වෙන දර්ශන තම ජංගම දුරකථනවල ගබඩා කරගෙන සිටීමේ චෝදනාව මත මොවුන් දෙදෙනා එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිට පසුව මෙලෙස ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.
අද උදෑසන 10.15ට ඉටිහාඩ් ගුවන් සේවයට අයත් EY-392 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි සැකකරුවන් දෙදෙනා භාරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් බන්ධුල දිසානායක නැමැත්තා මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබාගැනීමේ චෝදනා ලැබූවෙකි.
“පරෙවි සුදා” නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු වන හර්ෂ කුමාර නැමැත්තා මීට පෙර බූස්ස බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමකට ද සම්බන්ධ අයෙකි.
මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බන්ධුල දිසානායක නැමැත්තා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) වෙතත්, හර්ෂ කුමාර නැමැත්තා කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙතත් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ යොමුකර තිබේ.


