ජනාධිපති අපේක්ෂකයෝ ඡන්ද ව්‍යාපාරය පාර්ලිමේන්තු සභාගැබේ

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තරගවදින අපේක්ෂකයන් සිය ඡන්ද ව්‍යාපාරය පාර්ලිමේන්තු සභා ගර්භයේදීම ඊයේ (19) ආරම්භ කර කිබෙනු දක්නට ලැබිණි.

පාර්ලිමේන්තුව ඊයේ (19) පෙරවරුවේ උණුසුම් මුහුණුවරක් ගත් අතර නාමයෝජනා භාර ගැනීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව අද (20) දක්වා කල් තැබීම සිදු විය. සභාව කල් තැබීමත් සමඟ නැඟී සිටි අපේක්ෂකයෝ මන්ත්‍රීවරුන් වෙත යමින් සිය මැතිවරණ ව්‍යාපාරය සභා ගැබ තුළදීම ආරම්භ කළහ.

අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් වෙත යමින් සිය ඡන්ද ව්‍යාපාරයට සහාය ඉල්ලා සිටිනු දැකගත හැකි විය.

වැඩබලන ජනාධිපති, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් ද ඒ කටයුතු සඳහා ගමන් කරන අයුරු දැකගත හැකි විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ මුලින්ම අදහස් හුවමාරු කරගත් රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පසුව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා අසලට ගියේය. විග්නේෂ්වරන් මහතා සමඟ මඳ වේලාවක් කතා කළ වික්‍රමසිංහ මහතා ඉන්පසු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අසලට ගියේය.

ඩලස් අලහප්පෙරුම මහතා ද සභාගර්භය මැදට පැමිණ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ කතාබස් කරමින් සිටින අයුරු දැකගත හැකි විය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඩලස් අලහප්පෙරුම මහතා වැලඳ ගත්තේය. විදුර වික්‍රමනායක, ගීතා කුමාරසිංහ, ප්‍රසන්න රණතුංග, ඩිලාන් පෙරේරා යන මහත්ම මහත්මීහු ඩලස් අලහප්පෙරුම මහතාට සුබපැතුම් පිරිනැමූහ.

ඩලස් අලහප්පෙරුම මහතා මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ කතාබස් කරමින් සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ අසල රැඳී සිටියේය. එහෙත් අලහප්පෙරුම මහතා වික්‍රමසිංහ මහතා එහි රැඳී සිටිනු නොදුටුවේය. රනිල් වික්‍රමසිංහ මහතා එම ස්ථානයේ සිටිනු එකවරම දුටු ඩලස් අලහප්පෙරුම මහතා වික්‍රමසිංහ මහතා සමඟ සිනාසී පසෙකට යන අයුරු දැකගත හැකි විය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව අපේක්ෂකයෝ පාර්ලිමේන්තු සභාගර්භයේ විනාඩි දහයක් පහළොවක් පමණ රැඳී සිටිමින් ඡන්ද ව්‍යාපාර කටයුතුවල නියැළුණහ.

ජනාධිපති ධුරයට තරගවදින අපේක්ෂකයන්ට සහාය පතා ඒ ඒ දේශපාලන පක්ෂ මඟින් සංවිධාන කෙරුණු රැස්වීම් කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉන් අනතුරුව පැවැත්විණි.

එමෙන්ම ඩලස් අලහප්පෙරුම මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් ද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published.