අනූප සහ අරවින්ද් සහාය රනිල්ට

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම ජාතික සංවිධානයේ ජාතික සංවිධායක අනුප පස්කුවල් මහතාගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට දෙන බව ඊයේ (19) පැවසීය.

පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ අරගල කරමින් පක්ෂය නිවැරදි මාවතකට ගෙන ඒමට ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කරතැයි තමා මෙතෙක් විශ්වාස කළ බවයි.

නමුත්, මේ මොහොතේ සිදු වෙමින් පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාදාමයක් බැවින් තමන් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගනු ලැබූ තීරණය අනුමත කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ද කීවේය.

සමඟි ජන බලවේගය සමඟ ආණ්ඩුවක් පිහිටුවීම මඟින් සිදු වන්නේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියන විදියට වැඩ කරන ජනාධිපතිවරයෙක් බිහිවීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි මාවතකට යොමු කරමින් දියුණු රටක් කරා යන ගමනකට සිය සහාය හිමි වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්දයේදී සිය ඡන්දය රනිල් වික්‍රමසිංහ මහතාට දෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා ඊයේ (19) පැවසීය.

ඒ සඳහා තමන්ට පක්ෂයේ කාරක සභාවෙන් ද අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව සිය ඡන්දය නියත වශයෙන්ම වික්‍රමසිංහ මහතාට දෙන බවත් හෙතෙම කීවේය.

මේ රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩගත හැකි නායකයකු ලෙස මේ මොහොතේ සිටින්නේ වත්මන් වැඩබලන ජනාධිපතිවරයා පමණක් බව ඒ මහතා කියා සිටියේය.

මේ වන විට පාර්ලිමේන්තුව තුළ සිටින පක්ෂ විපක්ෂ බහුතරයක් මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිත කරන බව තමන්ට දැඩි විශ්වාසයක් තිබෙන බව අරවින්ද කුමාර් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.