දවස් 27ට 1,135කට කොවිඩ්

– 27ක් මරුට
– රෝහල්වලට යළිත් කොවිඩ් වාට්ටු
– බූස්ටරයේ ආයුෂ තෙමසකින් දිගු කරන්න ෆයිසර් සූදානම්

බූස්ටරයෙන් ප්‍රතිශක්තිය වසරකින් නඟී
– වසංගත රෝග විද්‍යා අංශය කියයි

මේ මස ආරම්භයේ සිට දින 27ක් ඇතුළත කොවිඩ් ආසාදිතයන් 1,135ක් සහ මරණ 27ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ පැහැදිලි වැඩි වීමක් දක්නට ලැබෙන බවත් වාර්තා නොවූ ආසාදිතයන් තවත් විශාල පිරිසක් සමාජගතව සිටිය හැකි බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඊයේ (28) ප්‍රකාශ කර ඇත.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම ඉහළ යෑමත් සමඟ නැවත වතාවක් රෝහල්වල කොවිඩ් වාට්ටු සූදානම් කළ යුතු බවට රෝහල් ප්‍රධානීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

රට තුළ පවතින විවිධ අර්බුද හේතුවෙන් කොවිඩ් ව්‍යසනය සම්බන්ධයෙන් ජනතාවට පසුගිය කාලයේ අමතකව ගොස් ඇතැයි ද, කොවිඩ් සම්බන්ධයෙන් සැලකිලිමත් නොවීම නිසා මුව ආවරණ ඇතුළු කොවිඩ් මර්දන උපදෙස් නොපිළිපැදීමට ජනතාව මේ වන විට පෙළඹී ඇතැයි ද හෙතෙම පැවසීය.

කොවිඩ් මර්දන එන්නත්කරණය ඇතුළු කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම නිසා ආසාදිතයන්ගේ වාර්තා වීම පසුගිය කාලයේ තරමක් දුරට අවමව තිබූ බවත් නමුත් මේ වසංගතය ගෝලීයව ව්‍යාප්ත වීමත් සමඟ නැවත වතාවක් ශ්‍රී ලංකාවේ ද ආසාදිතයන් වැඩි වීම දක්නට ලැබෙන බවත් වෛද්‍ය ගිනිගේ මහතා කීය. කොවිඩ මර්දන පළමු හා දෙවැනි මාත්‍රා ගත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය මේ වන විට හීන වී ගොස් ඇතැයි ද, එම නිසා කොවිඩ් මර්දන බූස්ටර් මාත්‍රා එක සහ දෙක ලබා ගැනීමට ජනතාව යොමු විය යුතු යැයි ද ඔහු පැවසුවේය.

වර්ධක හෙවත් බූස්ටර් මාත්‍රා ලබා ගැනීමෙන් කොවිඩ් වයිරසයේ මර්දන ප්‍රතිශක්තිය තවත් වසරකින් පමණ ඉහළ දමා ගත හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

වර්ධක මාත්‍රා ඔක්තෝබර් 31 දා දක්වා ලබා ගැනීමට ජනතාවට හැකි අතර එම එන්නත් මාත්‍රා තොගයේ කල් ඉකුත්වීම තවත් මාස තුනකින් දීර්ඝ කළ හැකි බවට ෆයිසර් සමාගමෙන් මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියට නිල වශයෙන් දැනුම් දී ඇතැයි ද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published.