මහඔය යූරියා මගඩියට ගොවි සභාපති 3ක් ඇතුළු පහක් රිමාන්ඩ්

– හොර පාරෙන් විකුණන්න ගිය මිටි 111ක් මාට්ටු
– ජාවාරමෙන් ඉපයූ ලක්ෂ තුනක් පොලිස් භාරයට
– අල්ලන්න යද්දී මිටි 20ක් ඇළට හලලා

ගොවීන්ට දීමට රජය විසින් දුන් ඉන්දීය යූරියා පොහොර හොර පාරෙන් වෙනත් පුද්ගලයන්ට වැඩි මිලට අලෙවි කිරීමක් සම්බන්ධයෙන් මහඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගොවි සංවිධාන සභාපතිවරු තිදෙනකුත් ලේකම්වරයකුත් ව්‍යාපාරිකයකුත් ලබන අගෝස්තු 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දෙහිඅත්තකණ්ඩිය අධිකරණය ඊයේ (28) නියෝග කළේය.

මේ ගොවි සංවිධාන නියෝජිතයන් හොර පාරෙන් පිටස්තර පුද්ගලයන්ට වැඩි මිලට අලෙවි කළ කිලෝ ග්‍රෑම් 50ක් බරැති පොහොර මිටි 111ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. එසේම පොහොර වැඩි මිලට අලෙවි කර උපයා ගත් රුපියල් 277,000ක මුදලක් ද පොලිසිය විසින් සැකකරුවන් සතුව තිබී සිය භාරයට ගෙන ඇත. පොලිසිය විසින් මේ පොහොර වැටලීම කරන අවස්ථාවේදී බියට පත්වූ එක් සැකකරුවකු පොහොර මිටි 20ක් ජලයට හලා ඇති බව අනාවරණය වී තිබේ. එම පොහොර මිටිවල කවර සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

රුපියල් 10,000කට අලෙවි කිරීමට රජය විසින් නිර්දේශ කර තිබුණු එම පොහොර මිටියක් මේ ජාවාරම්කරුවන් පිටස්තර පුද්ගලයන්ට අලෙවි කර ඇත්තේ රුපියල් 12,000ත් රුපියල් 13,000ත් අතර මිල ගණන්වලට බව ද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ගොවීන්ට බෙදා දීමට මහඔය ගොවිජන සේවා කාර්යාලයට පොහොර මිටි 322ක් ලැබී තිබී ඇත. හොර පාරෙන් විකුණා ඇත්තේ එම පොහොරවලින් කොටසක් බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරියකු විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කෙරුණු බව මහඔය පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් වයස අවුරුදු 34ත් 40ත් අතර වයස්වල පසු වන්නන්ය.

Leave a Reply

Your email address will not be published.