පැතුම් කර්නර් අත්අඩංගුවට

පාර්ලිමේන්තු පිවිසුමේදී යුද හමුදා සෙබළුන් දෙදෙනකුට පහරදී ගිනි අවි පැහැර ගැනීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව පොලිසියට අවශ්‍යව සිටි අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන බව සඳහන්ය.

පොලිසිය මඟ හරිමින් කට්ටි පනිමින් සිටි පැතුම් කර්නර්ව සොයා පොලිසිය කැලණිය දික්පිටිගොඩ සහ සියඹලාපේ පිහිටි නිවාස දෙකක් ද ඉකුත් 26 දා පරීක්ෂාවකට ලක් කරනු ලැබීය.

පැතුම් කර්නර් සොයා ඔහු ගැවසෙන තැන් වැටලීමට පොලිසිය පියවර ගනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින බව ඔහු දැනුම්දී පසුව ඔහු පොලිසිය මඟ හැරීම නිසා බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින බව සඳහන් දින ඔහු අසනීප තත්ත්වයෙන් සිටින බවට නීතිඥවරයෙක් මඟින් දැනුම් දීමක් ද කර තිබිණි.

පාර්ලිමේන්තු පිවිසුමේදී ගිනි අවි පැහැර ගැනීම සිදු වන්නේ ඉකුත් 13 දාය. යුද හමුදා සෙබළු දෙදෙනකුට පහරදී ගිනි අවි දෙකක් පැහැර ගැනීමට ලක්වන අතර, ඒ එක් ගිනි අවියක් ඉකුත් සතියේදී නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පිරිසක් සොයා ගනු ලබන්නේ දියවන්නා ඔයේ පොල්දූව පාලම ආසන්නයේදීය.

Leave a Reply

Your email address will not be published.