සර්ව පාක්ෂික ආණ්ඩුවකට රනිල් ශ්‍රීලනිප සාකච්ඡා

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවලිය සම්බන්ධයෙන් ඊයේ (28) සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (28) දහවල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තම කණ්ඩායම තවදුරටත් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ඇති කිරීමේ යෝජනාවලිය වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මීට පෙර ගෝඨාභය ජනාධිපතිවරයා වෙත ද තම පක්‍ෂය ඉදිරිපත් කළ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව තවදුරටත් පක්ෂයේ යෝජනාව බව වත්මන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත්, එම යෝජනාවලිය ඇතුළත් ලිපියක් ද භාර දුන් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජාතික සභාවක් පිහිටුවීම, 19 වැනි සංශෝධනය, අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම, ජනතාව මුහුණ පා සිටින අර්බුදවලට විසඳුම් ලබා දීම ආදි කරුණු ද මේ යෝජනාවලියට ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දුන් යෝජනාවලියේ ඇති කරුණු සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, තව සති දෙකකින් නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හමුවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

රට ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර ආධාර ගැනීමට නම් පක්ෂ සියල්ල කැඳවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

එමෙන්ම රට තුළ තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය, තෙල්, ගෑස් ආදි අර්බුද වැනි ප්‍රශ්න විසඳීමට තීන්දු තීරණ ගැනීම මෙන්ම ජනතාව තුළ ඇති නොසන්සුන් බව, ආවේගශීලි බව සමනය කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් සමඟ සාකච්ඡා කර ආධ්‍යාත්මික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද තම පක්‍ෂය ජනාධිපතිවරයාට යෝජනා කළ බව හිටපු ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවට පක්‍ෂ මහ ලේකම්, දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.