කියුබාවේ තෙල් ගබඩාවකට අකුණක් වැදිලා

121කට තුවාල: ගිනිනිවන භටයන්  17ක් අතුරුදන්

ජාත්‍යන්තර සහයෙන් ගින්න පාලනය කරයි

කියුබාවේ හවානා නුවරට කිලෝමීටර් 83ක දුරින් පිහිටි මටන්සාස් නුවර තෙල් ගබඩාවකට අකුණු සැර වැදීමෙන් හටගත් මහා ගිනිජාලාව නිසා එම ගබාඩාවේ අතිවිශාල තෙල් ටැංකි මුළුමනින්ම විනාශ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ගින්න මැඩ පැවැත්වීමට ගිය ගිනිනිවන භටයන් 17 දෙනකු අතුරුදන් වී ඇතැයි ද වාර්තා වේ. ගින්න හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් 121 දෙනකු රෝහල් ගත කර ඇති බවත්, ඉන් පුද්ගලයන් 15 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් සඳහන් වේ.

අකුණු සැර වැදී ඇත්තේ තෙල් ලීටර් ලක්ෂ 250කට වැඩි ධාරිතාවකින් සමන්විත ටැංකියකට වන අතර, පැය විසිහතරක් ගතවීමට පෙර තවත් ටැංකි දෙකකට ගිනි ඇවිලී ඇතැයි වාර්තා වේ. එම තෙල් ගබඩාවේ ටැංකි අටක් ඇති අතර, ඉන් ටැංකි තුනක් දැනටමත් ගිනිගෙන විනාශ වී ඇතැයි වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීමට කියුබා රජය ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබේ. වෙනිසියුලාව සහ මෙක්සිකෝව දැනටමත් ඔවුන්ගේ සහන සේවා කණ්ඩායම් මේ වන විට කියුබාවට පැමිණ සිටින අතර, ගින්න තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානම මත අවට පදිංචිකරුවන් දෙදහසකට පමණ ආසන්න පිරිසක් වහාම එම පළාතෙන් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.