නවකයන් හය දෙනකු සමඟ ශ්‍රී ලංකා යොවුන් පිල එංගලන්තයට

නායකත්වය නාලන්දාවේ රවීන් ද සිල්වාට

යොවුන් ටෙස්ට් තරගමාලාවකට සහ එක්දින තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (14) එංගලන්තය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මේ සංචාරයට එක් නොවන බැවින් එම කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කළ නාලන්දා විද්‍යාලයේ හිටපු නායක තුන්ඉරියව් ක්‍රීඩක රවීන් ද සිල්වා 18 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයේ නායකත්වයට පත් කර ඇත. ඒ අනුව සාන්ත ජෝසෆ් විද්‍යාලයේ නායක ශෙවෝන් ඩැනියල්ට උපනායකත්වය හිමි වී තිබේ. මීට අමතරව අවසන් වරට මේ වසරේ ජනවාරි මස කොදෙව්හි පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියට එක් වූ ක්‍රීඩකයන් 9 දෙනකු ද සංචිතයට ඇතුළත් වෙති.

එම තරගාවලියට එක් වූ යොවුන් පිලේ නායක දුනිත් සහ මතීෂ පතිරණ එංගලන්තයට එරෙහි නැඟී එන කණ්ඩායමේ සංචාරයට එක් වූ බැවින් මෙවර තරගාවලියට එක් කර නැති අතර, සකුණ ලියනගේ, සදීෂ් ජයවර්ධන සමඟ ආබාධවලට ලක් වීම හේතුවෙන් යසිරු රොද්‍රිගෝ සහ චමිඳු වික්‍රමසිංහ ද සංචිතයට ඇතුළත් වී නැත. ඔවුන් වෙනුවට නවක ක්‍රීඩකයන් 6 දෙනකු සංචිතයට එක් කිරීමට ක්‍රිකට් තේරීම් කටයුතු කර තිබේ. 

පළපුරුදු ක්‍රීඩකයන් 19න් පහළ වයස් කාණ්ඩයෙන් ක්‍රීඩා කරන අවසන් වසර මෙය වන අතර, සංචිතයට එක් වූ නවක ක්‍රීඩකයන්ට 2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වීමට අවස්ථාව උදා වී තිබීම විශේෂත්වයකි.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ කැනිස්ටන් ගුණරත්නම්, කොළඹ මහානාම විද්‍යාලයේ දුවිඳු රණතුංග, පාණදුර සාන්ත ජෝන් විද්‍යාලයේ සහන් මිහිර, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ අසිත වන්නිනායක, වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ දුලාජ් සමුදිත සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ හසිත අමරසිංහට එම අවස්ථාව ලැබී ඇත.

මේ සංචිතයට කොළඹ පාසල් වන නාලන්දා, මහානාම, සාන්ත පීතර ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් සාන්ත ජෝසෆ්, ඩී.එස්.සේනානායක, රාජකීය විදුහලෙන් ක්‍රීඩකයකු බැගින් එක්ව සිටිති. මීට අමතරව මහනුවර ත්‍රිත්ව සහ කඩුගස්තොට සාන්ත අන්තෝනි විදුහලන්වලින් දෙදෙනකු බැගින්, ගල්කිස්ස සාන්ත තෝමස්, ගාල්ල රිච්මන්ඩ්, පාණදුර සාන්ත ජෝන්, මාතර සාන්ත තෝමස් සහ වීරකැටිය මැදි විදුහලෙන් ක්‍රීඩකයකු බැගින් ද ඇතුළත්ව සිටිති.

ජෙහාන් මුබාරක් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වීමෙන් පසු යොවුන් කණ්ඩායම එක් වන පළමු සංචාරය මෙය වේ. තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පැවසුවේ සියලු ක්‍රීඩකයන් එංගලන්තයේ ක්‍රීඩා කර නැති බැවින් ජාතික කණ්ඩායමට එක් වීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයන්ට එංගලන්තයේ ක්‍රීඩා කර පළපුරුද්ද ලබා ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවය. එංගලන්ත යොවුන් කණ්ඩායම නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට පැමිණි කණ්ඩායම බැවින් විශාල අභියෝගයක් ඇති බවත්, ඔවුන් පරාජය කර ශ්‍රී ලංකාවත් එම තැනට සුදුසු බව ලොවට පෙන්වීමට මෙය කදිම අවස්ථාවක් බවත් මුබාරක් කීවේය.

මේ සංචාරයට හොඳ සංචිතයක් ලැබී ඇති අතර, පළපුරුදු ක්‍රීඩකයන් මෙන්ම අන්තර් සමාජ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් රැසක් සංචිතයට එක්ව සිටින බැවින් ඔවුන්ගේ දස්කම් එංගලන්ත තරග බිමේදී වැදගත් වනු ඇති බවත්, මේ සංචිතයට එක් වූ නවකයන්ට පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් හොඳ සහයක් ලැබෙනු ඇති බවත් ඔහුගේ අදහස වී ඇත.

“අප එංගලන්තයට සමාන තණතීරුවල පුහුණුවීම් කළා. ඒවා ඉතා සාර්ථකයි. අපට හොඳ සංචිතයක්, පළපුරුදු ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. නවක ක්‍රීඩකයන්ට ඔවුන්ගෙන් හොඳ සහයක් ලැබෙයි. අප එතැනට යන්නේ කණ්ඩායමක් හැටියට.” කී මුබාරක් ක්‍රීඩකයන් 18 දෙනාටම අවස්ථාව දීමට බලාපොරොත්තු වන බවත්, තරග ජය ගැනීම අරමුණ බවත් කියා සිටියේය.

එංගලන්තය යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (16) සිට යංග් ලයන්ස් පිලට එරෙහිව තුන්දින පුහුණු තරගයකට එක් වන අතර, අනතුරුව මේ මස 21 සහ 28 දිනවල එසෙක්ස් සහ ඩර්බිෂයර්හිදී යොවුන් ටෙස්ට් තරග දෙකට එක් වෙයි. දෙපිල අතර, එක්දින තරග 3 ලබන මස 5, 8 සහ 10 දිනවල වූස්ටර්ෂයර්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය: රවීන් ද සිල්වා (නායක – නාලන්දා), ශෙවෝන් ඩැනියල් (සා. ජෝසෆ්), වනුජ සහන් කුමාර (සා. පීතර), ළහිරු දවටගේ (සා. පීතර), අංජල බණ්ඩාර (මහානාම), විනුජ රන්පුල් (නාලන්දා), අභිෂේක් ලියනාරච්චි (කොළඹ ඩී.එස්. සේනානායක), සදීෂ රාජපක්ෂ (රාජකීය), මල්ෂ තරුපති (රිච්මන්ඩ්), රනුද සෝමරත්න (ත්‍රිත්ව), පවන් පතිරාජ (ත්‍රිත්ව), ට්‍රවීන් මැතිව් (කටුගස්තොට සා. අන්තෝනි), අසිත වන්නිනායක (කටුගස්තොට සා. අන්තෝනි), කැනිස්ටන් ගුණරත්නම් (ගල්කිස්ස සා. තෝමස්), දුවිඳු රණතුංග (මහානාම), සහන් මිහිර (පාණදුර සා. ජෝන්), හසිත අමරසිංහ (මාතර සා. සර්වේසස්), දුලාජ් සමුදිත (වීරකැටිය මැදි වි.).

Leave a Reply

Your email address will not be published.