ජංගි හොරා කුණුහරුපයක් නෙමෙයි – ආචාර්ය සෝමරත්න දිසානායක

සිංහල සිනමාවෙ මෙතෙක් වැඩිම පේ‍්‍රක්ෂක පිරිසක් නැරඹූ චිත‍්‍රපටය, වැඩිම ආදායම ඉපැයූ චිත‍්‍රපටය, එක දිනක වැඩිම ආදායම ආදී සියලූම වාර්තාවලට හිමිකම් කියන්නේ එක් සිනමාකරුවෙකි. එසේම වැඩිම අන්තර්ජාතික සිනමා සම්මාන හිමි ලාංකික සිනමාකරුද මොහුය. මොහු සිනමාවේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සිදු කරන චරිතයකි. කෙලින් කතා කරන්නෙකු ලෙස ද දරුවන් වෙනුවෙන් ජනප‍්‍රිය චිත‍්‍රපට නිර්මාණ කරන්නෙකු ලෙසද රට හඳුනන මොහු ආචාර්ය සෝමරත්න දිසානායකය. ඔහුගේ නවතම සිනමාපටය මේ දිනවල තිරගත වන මොහොතේ ඔහු නැවත වරක් කතාබහට ලක්වී ඇත. දරුවන් වෙනුවෙන් චිත‍්‍රපට හදපු සෝමේ අයියා හදපු මොකක්ද මේ වැඩිහිටියන්ට පමණයි. චිත‍්‍රපටය. දේශීය සිනමාව තීරණාත්මක මොහොතක පවතින බවත් මොහුගේ නවතම චිත‍්‍රපටය ‘ජංගි හොරා’ සිංහල සිනමාවේ අලූත් කතා බහක් ඇති කරන නිසාත් අපි ඔහු සමග කතා බහ කළෙමු.

* සෝමරත්න දිසානායකගේ මීළඟ සිනමා නිර්මාණය  ‘ජංගි හොරා’ (වැඩිහිටියන්ට පමණයි ඇයි මේ වගේ චිත‍්‍රපටයක් කරන්න හිතුවෙ).

මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද කියලයි මට අහන්න තියෙන්නේ. ඒක චිත‍්‍රපටයක්. චිත‍්‍රපටයක නමක්. සෑම චිත‍්‍රපටයක්ම, සෑම නිර්මාණයක්ම එකම රටාවේ එකම වගේ නොවෙයිනේ. අපි විවිධ මාතෘකා යටතේ විවිධ රටාවල චිත‍්‍රපට කරනවා. සමහර වෙලාවට මේ චිත‍්‍රපටය මම මෙතෙක් කරපු රටාවේ එකක් නොවෙන්න පුළුවන්. මෙතෙක් කරපු තේමාවන් වස්තු බීජයන් නොවෙන්න පුළුවන්. ඒකෙ වෙනසක් තියෙනවා. නමුත් මම හඳුන්වන්නේ ඒක සිනමා නිර්මාණයක් නැතිනම් සිනමා කෘතියක් පමණයි කියලා ඒකේ මට වෙනසක් නැහැ.

* නමුත් සෝමරත්න දිසානායකයන් මිනිස්සු අතරට ගිහින් තියෙන්නේ ළමා නිර්මාණකරුවෙක් විදියට. එක්තරා පැත්තකින් මේක ඔබට අවාසියක් නේද?

නැහැ. මම හිතනවා සමහර වෙලාවට මුදල් පැත්තෙන් බැලූවොත් මම නිකං චිත‍්‍රපට හදන ව්‍යාපාරිකයෙක් හැටියට ගත්තොත් ඔය කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. මට ඒ පැත්තෙන් අවාසියක් තියෙන්න පුළුවන්. නමුත් මම එහෙම එක මාතෘකාවක හිරවෙලා මුදල් උපයන ආදායම් මාර්ගයක් කරගත්තු ව්‍යාපාරිකයෙක් නොවෙයි. මම නිර්මාණකරුවෙක් ඒක නිසා මට විවිධ මාතෘකා යටතේ විවිධ විවිධ තේමා යටතේ නිර්මාණ කරන්න පුළුවන්. සමහර චිත‍්‍රපටවලට ළමයින් ගේ සහ පවුලේ ආකර්ෂණයත් තිබුණා කියලා මම දන්නවා. නමුත් ඒ නිසාම ඒ ආකර්ෂණය සඳහාම මට එක තැනක එක කූඩුවක හිරවෙලා ඉන්න බැහැ. මම විවෘතව මගේ නිර්මාණ කරනවා. පේ‍්‍රක්ෂකයාට භාරයි ඒවා කොහොමද භාරගන්නේ කියලා. මොන වයස් කාණ්ඩයේ අයද බලන්නේ කියන එකත් මගේ ප‍්‍රශ්නයක් නොවෙයි.

Leave a Reply

Your email address will not be published.